සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරයකු ඇසුරු කළෙමි.

පිට කොන්දේ හා දකුණු කකුලේ බත් කෙන්ඩ ආසන්න ප්‍රදේශයේ අධික වේදනාව නිසා රෝගී වූ මගේ මිතුරෙක් කොළඹ ප්‍රධාන පෙළේ සර්වාංග වෙද්‍යවරයකු හමුවිය. වෙද්‍යවරයාට රෝග විනිශ්චය කර නිගමනයකට ඒමට අපහසු වූ අතර ඔහු නළල රැළි ගන්වා බොහෝ වේලා කල්පනා කර බෙහෙත් වගයක් දී ඊට සනීප නොවෙනවා නම් පරීක්ෂණයක් කළ යුතු බව කීය.

මගේ මිතුරා එම බෙහෙත් බීමට අප්‍රිය කළ බැවින් ඔහුගේ මිතුරකුගේ කීම මත පඩුවස්නුවර මගුලාගම අතුල වෙද මහතා හමුවිමට ගියේ ය. ඔහු පාරම්පරික නිල වෙදකමෙහි දක්ෂයෙකි. සර්ප වෙදකමෙහි ද දක්ෂයකු බව කියවේ.

වෙද මහතා මගේ මිතුරාගේ බෙල්ලේ පටන් ස්පර්ශ කරමින් අදාළ ස්ථාන වේදනාකාරීදැයි විමසමින් සම්භාහනය කළේ ය. ඒ අනුව ශරීරයේ ඉහළ සිට පහළටම ඒ ඒ ස්ථාන නිරීක්ෂණය කරමින් ඒවා වේදනාකාරීදැයි විම්සමින් තෙල් වර්ගයක් ගල්වා සම්භාහනය කලේ ය.

මිතුරාට අධික වේදනාකාරී විය. ඔහු මර ලතෝනි දුන්නේ ය. එහෙත් වෙද මහතා සිනහ සෙමින් කල්පනාකාරීව රෝගියාගේ ඔහු හදුනා ගත් ස්ථාන සම්භාහනය කළේය. මිතුරාට සිදුව ඇත්තේ කිසියම් හේතුවක් නිසා ඔහුගේ ස්නායුවක් අසාමාන්‍ය ලෙස පිහිටීම වෙනස්වීම ය. සම්භාහනය කිරීමේ දී අධික වේදනාවක් ගෙනදුන්නත් ඉහළ සිට පහළටම සම්භාහනය කරමින් කළ ප්‍රථිකර්ම නිසා අවසන ආපහු ආවේ 90% කින් රෝගය සුව වීමෙනි.

පාරම්පරික නිල වෙදකම ආශ්‍රයෙන් ස්නායු ආබාධයන් සුව කිරීමේ මේ විශ්ව කර්ම වෙද මහතා රෝගීන්ට කරන්නේ අසීමිත සේවයකි. විශාල රෝගාබාධයක් පැයකට වඩා අඩු කාලයක දී නිරික්ෂණය කර හදුනාගෙන අවසන ප්‍රථිකාර කිරීමත් ඒ සැනින් රෝගාබාධයන් බොහෝ දුරට අවමවීමත් විශ්මයජනකය. අගය කළ යුතුය. එහෙත් දුප්පත් රෝගීන් පැමිණෙන නිසා දෝ වෙද මහතාට ලැබෙන්නේ එක රෝගියකුගෙන් රුපියල් 500ක් වැනි සොච්චමකි. වෙද මහතා මිලක් ද නියම නොකරයි.

මෙවැනි වෙදමහත්වරුන් ද ඒ දැනුම ද රැක ගැනීම සමාජයේ වගකීමයි. දේශීය වෙද්‍ය අමාත්‍යංශයක් තිබුන ද ඔහු සපයන සේවයට කිසිම අතදීමක් ආණ්ඩුවෙන් සිදුව නැත.මෙවැනි දැනුම් පද්ධති රැක ගනිමින් ඒවා සමාජය කර ගෙනයෑම ව්‍යාප්ත කිරීමට රජයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව නොකියාම බැරිය.

ගමන් මාර්ගය: නාරම්මල හා වාරියපොල පැති වලින් පැමිණෙන අය කටුපොත හන්දියට පැමිණ එම හන්දියෙන් මූණමල්දෙනිය මාර්ගයේ මගුලාගම ප්‍රාථමික විද්‍යාලය අසලට යන්න.

කුලියාපිටිය හා හෙට්ටිපොල පැති වලින් පැමිණෙන අය මූණමල්දෙණිය හන්දියට පැමිණ කටුපොත මාර්ගයේ මගුලාගම ප්‍රාථමික විද්‍යාලය ආසලට යන්න.

කේ.ජී.පිලිප් ශාන්ත