වැලිඔය කටුක ජීවිතයක වසන්තය

ජාතික ප්‍රශ්නයට මුල් කාලයේ දී එක්සත් ජාතික පක්ෂය විසදුම් සෙව්වේ මිලිටරි නායකයන් සමග හවුලේ ය. ඒ අනුව උතුරු නැගෙනහිර දෙපළාතේ උපක්‍රමිකව වැදගත් ප්‍රදේශයන්හි වාසය කළ දෙමළ වැසියන් එළවා දමා සිංහලයන් එහි පදිංචි කිරීම උපක්‍රමය විය . ඒ ව්‍යාපෘතිය තුළ එක්සත් ජාතික පක්ෂයේ සභාපති හා මහවැලි ආර්ථික කොමිසමේ සභාපති වූ එන්.ජී.පී. පණ්ඩිතරත්න ද මාලිංග ගුණරත්න ද වූහ. දිස්ත්‍රික්ක හතරකට මායිම් වූ වැලිඔය සිංහල ජනපදය බිහි වන්නේ ඒ අනුව ය.

අලුතින් නම් කළ වැලිඔය ප්‍රදේශයේ සිංහල ජනාවාස කටයුතු සිදු කෙරුණේ ගම්මාන 42ක පාරම්පරිකව පදීංචිව සිටි දෙමළ පවුල් 13,288ක් බලහත්කාරයෙන් එළවා දමමිනි. ඒ අතර කොක්කුලායි ග්‍රාම නිලධාරී වසමේ දෙමළ පවුල් 1516ක් ද කොක්කු තුඩුවායි ග්‍රාම නිලධාරී වසමේ දෙමළ පවුල් 3306ක් ද වවුනියා උතුර ග්‍රාම නිලධාරී වසමේ දෙමළ පවුල් 1342ක් ද මුලතිව් දිස්ත්‍රික්කයට අයත් නයාරු හා කුමුලමුලයි ග්‍රාම නිලධාරී වසම් වලින් දෙමළ පවුල් 2011 ක් ද වුණි. ඒ එක්කම 99 අවුරුදු බදු ක්‍රමයක් යටතේ කෙන්ට්ෆාම් හා ඩොලර්ෆාම් ආදී ප්‍රදේශයන්හි දෙමළ ව්‍යවසායකයන්ට ලබා දී තිබූ ඉඩම් ද ආපසු රජයට පවරා ගැණුනි.

ඒ අනුව තණ්නිමුරුප්පු නම් දෙමළ ජනාවාසය ඉවත් කිරීමෙන් පසුව ජනකපුර බිහි කළේ එවකට වැලිඔය ආරක්ෂක හමුදාවට නායකත්වය දුන් බ්‍රිගේඩියර් ජනක පෙරේරාගේ නමිනි. කල්‍යාණපුර ද සම්පත් නුවර ද බිහිවූයේ ඒ අයුරිනි.ඒ උපක්‍රමික වැදගත්කම සාධනයේ ලා යොදා ගත් බොහොමයක් වූයේ නීතියෙන් වරදකරුවන් වී සිරගතව සිටි අපරාධකරුවන් ය. විවෘත සිරගෙයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් මේ පිරිස් ජනකපුර ප්‍රදේශයේ පදිංචි කෙරිණි.
වැලිඔය ප්‍රදේශයේ සිංහලයන් පදිංචි කිරීම ඉඩම් කොමිසම හරහා සිදුකළත් පසුව එම කටයුතු මහවැලි ආර්ථික ඒජන්සියට පැවරුණි. මෙම මහවැලි එල් කලාපය විශේෂයෙන් පොල් වගාව සදහා ස්ථාපිත කෙරුණ අතර පදිංචිකරුවනට ඉඩම් අක්කර පහ බැගින් ප්‍රදානය කෙරුණි. ඉන් ඉඩම් අක්කර බාගයක් පදිංචිය සදහා ද වාරි ඉඩම් වලින් අක්කරයක් ද පොල් වගාව සදහා අක්කර තුනහමාරක් ද ද ප්‍රදානය කෙරුණි. මහවැලි ආර්ථික ඒජන්සිය සංවර්ධන ව්‍යාපෘති සදහා මුදල් ලබාදුන් අතර මහවැලි ඉංජිනේරු හා ඉදිකිරීම් කටයුතු මහවැලි ඉදිකිරීම් හා ආර්ථික ඒජන්සිය යටතට පත් කෙරුණි.
අද වනවිට යුද්දය නිමාවීමත් සමග ටිකෙන් ටික මිනිස් ක්‍රියාකාරීත්වය ශක්තිමත් වෙමින් පවතී. මේ ප්‍රදේශය වර්ග කිලෝමීටර් 175කින් පමණ යුක්ත වන අතර ග්‍රාම නිලධාරී කොට්ඨාශ නවයකට බෙදා ඇත. ගජබාපුර, ඇතාවැටුනවැව, නිකවැව දකුණ, නිකවැව වම, කල්‍යාණපුර, ඇහැටුගස්වැව, නව ගජබාපුර, කිරි ඉබ්බන් වැව, ජනකපුර ලෙස ඒවා හැදින්වේ. ඒ ග්‍රාම නිලධාරී කොට්ඨාශයන් අයත් වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සම්පත් නුවර ලෙස නම් කර ඇත. ඊට අයත් වන්නේ වැලිඔය ප්‍රදේශයයි.

යුද්දය දරුණු ලෙස පැවැති 2008 වර්ෂයේ දී පමණ වැලිඔය ප්‍රදේශයේ බොහෝ ගම්මානයන්හි ආහාර හිගයක් පැවතුණි. ඒ නිසා ප්‍රදේශයේ ජනයාගෙන් 70% පමණ ආහාර සොයා ගැනීම වෙනුවෙන් දුෂ්කරතාවන්ට මුහුණු දුන් අතර එනිසා දිනකට ලබා ගන්නා ආහාර වේල් ගණන සීමා කරගෙන තිබුණි.
2009 දී එල්ටීටීඊ සංවිධානයේ පරාජයත් සමග වැලිඔය ජනතාවගේ හිසට ඉහළින් සිටි යක්ෂයන් තිදෙනෙකුගේ බර ඉවත් වුණි. යුද්දය කාලයේ වැලිඔය මිනිසුන් නිතරම බියෙන් සිටියේ එල්ටීටීඊයේ ආර්ටිලරි ප්‍රහාරයකට තමන් කොයි මොහොතේ ඉලක්කවේ ද යන්න සැකසහිත වූ නිසාය. එසේම එල්ටීටීඊය හා ආරක්ෂක හමුදා අතර වෙඩි හුවමාරුවකට කොයි මොහොතේ මැදිවේද යන බියත් ඔවුනට තිබුණි. එසේම එල්ටීටීඊයේ ප්‍රහාරයක් වැලිඔයට එල්ලවේදැයි බිය ද ඔවුන්ට තිබුණි.

ඒ යුද අත්දැකීම් සිහිනෙන් දුටු භීෂණයක් ලෙස අතීතයට එක්වෙද්දී වැලිඔය ජනතාව අලුත් පරපුර හා මුහුණ දෙන්නේ වෙනත් ප්‍රශ්නයන්ට ය. නොනවත්වා ව්‍යාප්තවන වකුගඩු රෝගය නිසා දිනෙන් දින ජනයා මිය යන අතර දිස්ත්‍රික්ක හතරකට මැදිවී දෙමව්පියන් නැති අසරණ වූ දරු පිරිසක් බවට වැලිඔය ජනතාව පත්ව සිටී. සම්පත්නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි පවුල් සංඛ්‍යාව දෙදහසකට ආසන්න වන අතර එම සංඛ්‍යාවෙන් 19%ක් පමණ මාතෘ මූලික පවුල්වීම ද 69%ක් පමණ ආණ්ඩුවේ ආධාර ලබන පවුල්වීම ද සැලකිය යුත්තකි. ගජබාපුර ගම්මානය එල්ටීටීයේ පාලනයට යටත් වූ පසුව එම ගම්මානය හැරදා ගිය පිරිසගේ දෙවන පරම්පරාව නව ගජබාපුර ලෙස ජනකපුර ගම්මානයට ආසන්නව පදිංචි කර ඇත. එම ගම්මානයේ පවුල් 112ක් පමණ වාසය කරන අතර එම සංඛ්‍යාවෙන් 33%ක පමණ පවුල් සංඛ්‍යාවක් මාතෘ මූලික පවුල් ය. එහි 88%ක පවුල් සංඛ්‍යාවක් රජයේ ආධාර ලබන පවුල් ය. මේ සංඛ්‍යාලේඛන හෙලිකරන්නේ යුද්දය විසින් මේ ජනයාගේ පත් කර ඇති දුෂ්කර තත්ත්වයයි.

ලංකාවේ විවිධ ප්‍රදේශයන්ගෙන් ඉඩම් ලැබ මෙහි පැමිණි ජනයා අතර විවිධ සංස්කෘතික ගති ලක්ෂණ පවති. බොහොමයක් ජනයා ජීවිතයේ අඩත්තේට්ටම් වලට ලක්වූ පිරිසක් නිසා ඔවුන් රළු හා ආවේගජනක පිරිසකි. අධ්‍යාපන මට්ටම ද ඉතා අවම වන අතර කටුක පරිසරයක මහ පොළොව හා හැප්පෙමින් ජීවිත අරගලයක යෙදෙන නිසා ඔවුන් තුළ ජීවිතය ගැන ඇත්තේ සරළ කියවීමකි.

ජීවිතයකට සංස්කෘතික හා සමාජ වටිනාකම් අත්‍යවශ්‍යය. එහෙත් මේ ජනයා තුළ එවැනි වටිනාකම් ජනනය වන්නට තවත් බොහෝ කල් යෑම වැළැක්විය නොහැක්කකි.

කේ.ජී.පිලිප් ශාන්ත