අපි විසින්ම නිර්මාණය කරගත් අපේම ප්‍රශ්න….

මේ රටේ ප්‍රශ්න බොහොමයක් අපි විසින්ම නිර්මාණය කරගත් ප්‍රශ්න බවට මේ වෙන කොට මේ රටේ උගත් බුද්ධිමත් ජනතාව තේරුම් අරන් ඇති කියලා මම හිතනවා, තේරුම් අරන් නැත්තන් එතනත් ප්‍රශ්නයක් මිසක් වෙන මුකුත් නැහැ. එතකොට දැන් මේක පටන් ගන්නේ කොහෙන්ද? අපේ ප්‍රශ්න අපි විසින්ම නිර්මාණය කරගත් දෙයක් කියලද? නැත්තන් අපේ රටේ ප්‍රශ්න අපි විසින්ම නිර්මාණය වෙච්ච්ච දේවල් කියලා උගත් බුද්ධිමත් ජනතාව දන්නේ නැති එකෙන් ද? 

මම පටන් ගන්නම් මෙහෙම…

අපේ රටේ උගත් බුද්ධිමත් ජනතාව හිතන් ඉන්නවා, “දේශපාලනය කියන්නේ මහා ජරාවක් (ඔව් එක අතකින් එහම තමයි), දේශපාලනය අප්පිරියාවක්, අපි මොනා කිව්වත් මේ දේශපාලනය වෙනස් වෙන්නේ නැහැ, මේ දේශපාලකයෝ ඔක්කොම එකයි, උන්ට ඕනේ උන්ගේ බඩගෝස්තරය පුරවගන්න විතරක් මිසක් රට ඇති ආදරයක් නැහැ, ඕවලට ගාවෙනවට වඩා හොඳයි අපි කීයක් හරි හම්බකරගෙන කාලා බිලා පැත්තකට වෙලා බලන් ඉමු, උන්ට ඕන දෙයක් කරගන්න කියලා. ” එහම නේද? තමන්ගෙන්ම අහලා බලන්න, එහම නේද? ඊට පස්සේ ඒ අපිම නේද මේ රටේ තත්වේ ගැන බැන බැන රට වටේ යන්නේ, ලෝකේ වටේ යන්නේ? Batch mate ලා සෙට් උනාම, යාළුවො ටික සෙට් උනාම, ෂොපින් කරන ගමන්, පාරේ යන ගමන්, අයින් වෙලා පයින් යන ගමන් බැන බැන ඉන්නේ මේ අපි ම නේ? එක පැත්තකින් අපි දේශපාලකයන්ට සහ මේ රටේ තත්වෙට බැන බැන ඉන්න අතරේ, අනිත් පැත්තෙන් ඒ ප්‍රශ්න විසඳන්න ගැඹුරට යන්න හිතන්නේ වත් නැහැ, ඔය කියන ජරා දේශපාලනයේ පැත්ත පළාතේ යන්නේ නැහැ. මද ගාගන්න කැමති ම නැහැ, කොහොමද එතකොට ඔය ප්‍රශ්න විසඳෙන්නේ? ගමේ ඉන්න රස්තියාදු කාරයද විසඳන්න ඕනේ? ස්ත්‍රී දුෂකයාද විසඳන්න ඕනේ? ඒ වගේ මිනිස්සු පත් වෙන එක ඉතින් අහන්නත් දෙයක් ද? උගතුන් බුද්ධිමතුන් “අයින් වෙලා පයින් යනකොට”?.

දේශපාලනය කරන්න ඕනේ කියලා මම කියන්නේ නැහැ, එක තම තමන්ගේ කැමැත්ත, එකට පහරක් ගහන එක නෙමෙයි මෙතන කරන්නේ. දේශපාලනය කරන්න ඕනේ නැ නමුත් තම තමන්ගේ ගම් වල මිනිස්සුන්ට අලුතින් හිතන්න කියලා දෙන්න පුළුවන් නේද? ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ට අලුතින් හිතන්න කියා දෙන්න පුළුවන් නේද? ඔවුන් නුගත් නම්, තමන් බුද්ධිමත් නම්, ඔය දේ කරන්න ක්‍රමයක් හොයාගන්න පුළුවන් නේද? රටට, ගමට, රටේ මිනිස්සුන්ට, ගමේ මිනිස්සුන්ට පොඩි හරි ආදරයක් තියෙනවානම්, තමන්ගේ අනාගත පරම්පාරවවත් මිට වඩා හොඳට ජිවත් වෙන්න පරිසරයක් මේ රට තුල බිහිකරන්න අවශ්‍ය නම්, දේශපාලකයෙක්ම වෙන්න අවශ්‍ය නැහැ, ඔවුන් හරි පාරේ ගමන් කරන්නේ නැත්තන් හරි පාරට ඇදලා දාන එක අපේ වගකීම නොවේද? එහම කරන්නේ නැතුව බැන බැන ඉඳලා විතරක් මේ ප්‍රශ්න විසඳෙයි කියලා හිතනවද?

අපි එමු පළාත් පාලන මැතිවරණයට. පළාත් පාලන මැතිවරණයක් කියන්නේ අනාගත දේශපාලකයන් බිහි කරන මොන්ටිසොරිය ( ලොකු තැනත් මොන්ටිසොරිය වගේ තමයි ඉතින්), මෙතනින් අපි මේ මිනිස්සු හැදුවේ නැත්තන් මෙයාලම තමයි කවදාහරි පාර්ලිමේන්තුවටත් යන්නේ. මෙයාලව තමයි අපිට හදන්න ලේසිම කියලා මම හිතනවා, ඔවුන්ව හරි පාරට ගෙන්න පුළුවන් ලේසිම තැන (ඔව් එත් මේක පොඩ්ඩක් අමාරු වැඩක්, ඉතින් වෙනස කොහොමත් අමාරුයි නේ), ගමේ තියෙන රැස්වීමකට යන්න බැරිකමක් නැහැ නේ අපිට? ගිහින් අපේක්ෂකයන්ගෙන් ප්‍රශ්න කරන්න බැරි කමක් නැහැ කියලයි මගේ මතය, මොකද එක තමයි අපේ අයිතිය, තමන්ගේ අපේක්ෂකයා ප්‍රශ්න කරන්න බැරි නම් වැඩක් තියෙනවද? ගමට ඉන්න අපේක්ෂකයා ගමට ආවේනික ප්‍රශ්න ටිකවත් දන්නවද නැද්ද කියලවත් අපිට ප්‍රශ්න කරලා හොයාගන්න බැරි ද? නුගත් දුප්පත් අන්ත අසරණ වෙලා ඉන්න ගමේ ජනතාවට ඕක කරන්න බැහැ, කරන්නෙත් නැහැ, එහෙනං ඒ වගකීම කාගේද? උගත්තු ටිකට, බුද්ධිමතුන් ටිකට ඕක කරන්න පුළුවන් වෙන්න ඕනේ. සිංගප්පුරුව ගැන අපුරුවට කියවන්න පුළුවන් “එහෙ මෙහෙමයි ගොඩ ගත්තේ” හැබැයි “එහී එහම ගොඩ දාන්න” උගත් බුද්ධිමතුන් කල කැපවීම ගැන නිසා අවබෝධයක් තියෙනවද?

ක්‍රමයක් හොයාගන්න පුළුවන් නේ උගත් බුද්ධිමත් ජනතාවට නේද? නැත්තන් ඉතින් උගත් බුද්ධිමත් කියන්නත් අමාරුයි නේ!

ඉතින් මේ රටේ ප්‍රශ්න අපි විසින්ම තමයි නිර්මාණය කරගෙන තියෙන්නේ, හිස් මොළ රටේ බලයට පත් කරලා අපි විසින්ම නිර්මාණය කරගත් ප්‍රශ්න, දේශපාලකයට නොව, අපි බනගන්න ඕනේ අපිටමයි. තාමත් අපි අපිට කලින් පරම්පාරවල් කරපු ටිකම කරගෙන ඉන්නවා මිසක් වෙන මොනාද අපි කරලා තියෙන්නේ (බුකියේ පොඩ්ඩක් කෑගහනවා ඇරෙන්න). මේ රටේ උගත් බුද්ධිමත් ජනතාවට තව හිතන්න ගොඩක් දේවල් තියෙනවා, කරන්න ගොඩක් දේවල් තියෙනවා. කොහෙන් හරි පටන් ගන්නයි අවශ්‍ය. අඩුම තරමේ දේශපාලකයාව ගම මට්ටමින් ප්‍රශ්න කරන ජනතාවක් හදන්නවත් මේ පරම්පරාව උත්සහ කරන්න ඕනේ. එහම කරන්නේ නැතුව තැන තැන බැන බැන ඉඳලා මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ….අපිම නිර්මාණය කරගත් මේ ප්‍රශ්නය විසඳනකන්