ආරක්ෂක රාජ්‍යය හා විමතික කණ්ඩායම

සම්මුතික ආණ්ඩුව නිසා සිදුවූ ලොකුම විනාශය විපක්ෂයක් නැතිකම යැයි සමහර අය කියති. එක්සත් ජනතා නිදහස් සංධානයේ විමතික කණ්ඩායම “ඒකාබද්ධ විපක්ෂය” යැයි හදුන්වමින් ඉහළට ඔසොවා තබන්නේ ද එම පිරිසමය.

ඇඹිලිපිටියේ දී සිදුවූ පොලිස් ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ තරුණයාගේ සිද්ධිය විමතික කණ්ඩායමේ විමල් වීරවංශ විසින් විග්‍රහ කළ අන්දම මගේ විමතියට හේතුවකි. ඔහු බෙරිහන් දෙමින් කීවේ පොලීසිය තරුණයකු ඝාතනය කිරීමෙන් පොලිස් රාජ්‍යයක් කරා ශ්‍රී ලංකාව ගමන් ගනිමින් සිටින බවයි.

රාජ්‍යයක් පොලිස් රාජ්‍යයක් බවට පරිවර්තනය වන්නේ පවතින නීතිමය තත්ත්වය හා ආරක්ෂක කරුණු වලට ලබාදෙන ප්‍රමුඛතාව අනුවය. සියළු ප්‍රජාතන්ත්‍රවාදී යහගුණ හා වටිනාකම් අහෝසි කරමින් “ආරක්ෂක රාජ්‍යයක” පදනම දැම්මේ රාජපක්ෂ රෙජීමයයි. එම කාලය තුළ පොලීසියේ කටයුතු පසුවිපරම් කරන ආයතන ශක්තිමත් නොවීය. ජාතික ආරක්ෂාවේ මුවාවෙන් සියළු ආරක්ෂක තත්ත්වයන් ශක්තිමත් කළහ. සමහර අවස්ථාවන්හි ආරක්ෂක ලේකම්වරයා පෞද්ගලිකව මැදිහත් වෙමින් ශක්තිමත් කළේ පොලිස් රාජ්‍යයේ ව්‍යුහයන්ය.

එහෙත් දැන් ඇත්තේ සංක්‍රාන්ති සමයකි. පොලිස් කොමිෂන් සභාවක් ක්‍රියාත්මකව පවතින අතර පොලීසියේ කටයුතු මනා ලෙස පසුවිපරමකට නිරතුරුව ලක්වේ. පොලිසීය යම් පියවරක් ගත්පසුව එය සමාලෝචනය කරමින් වැරදි සිදුවී ඇත්නම් ඒවා නිවැරදි කිරීමට පියවර ගැනේ. එසේම මානව හිමිකම් කොමිෂන් සභාව ද වෙනදාට වඩා ශක්තිමත් හා ක්‍රියාකාරීය. ඉංජිනෙරු ජාතික ඩිප්ලෝමාවේ සිසුන් කළ උද්ඝෝෂණයට පහර දුන් පොලිසීයට දඩුවම් විදින්නට සිදුවූයේ පොලිස් කොමිෂමේ මැදිහත්වීම නිසා වන අතර ජාතිවාදී අදහස් ප්‍රකාශ කිරීම වළක්වන නීති සම්පාදනය නැවත සලකා බැලීමට ආණ්ඩුවට සිදුව ඇත්තේ මානව හිමිකම් කොමිෂමේ මැදිහත්වීම මතය.

එහෙත් මේ ධනාත්මක දෑ නොදකිමින් ශ්‍රී ලංකාව පොලිස් රාජ්‍යයක් කරා ගමන් කරමින් සිටිතැයි ප්‍රකාශ කරන්නේ එක් කලෙක ආරක්ෂක රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට වෙහෙස දැරූ විමල් වීරවංශම වීම උත්ප්‍රාසය දනවයි. විමල් වීරවංශ විෂයට අදාළව කතා නොකර මේ සංක්‍රාන්ති යුගයේ ධනාත්මක දෑ නොදකියී. ඒ නිසා කාලයක් ඇත්තටම පොලිස් රාජ්‍යයක් වූ මේ රට ක්‍රමයෙන් ඒ නීති රීති ලිහිල් කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදී යහ යුගය කරා යෑමත් තක්කඩි ලෙස අමතක කරයි.

ඒකාබද්ධ විපක්ෂය යැයි තමාම හදුන්වා ගන්නා එක්සත් ජනතා නිදහස් සංධානයේ විමතික කණ්ඩායමට ඇත්ත ඇති හැටියෙන් විග්‍රහ කිරීමේ ශක්තියක් නොමැත. පොලිස් රාජ්‍යයෙන් ඉවතට යන මොහොතක ඒ දේශපාලන හා නීතිමය අවශ්‍යතා ශක්තිමත් කිරීමේ ශක්තියක් ඔහුනට නැත. ඔවුන්ගේ එකම අපේක්ෂාව කොක්කෙන් හෝ කෙක්කෙන් රාජපක්ෂ නැවත බලයට ගෙන ඒමට උත්සාහ කිරීමයි.

ඒ අනුව විමතික කණ්ඩායම පෙන්වන්නේ උන්මන්තික හැසිරීමකි.

කේ.ජී.පිලිප් ශාන්ත