රාජ්‍ය නොවන ස්ත්‍රී කැක්කුම නොහොත් සල්ලි මළු

පසුගිය දා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද කීවේ රජයේ රැකියාවන්ට කාන්තාවන් පැමිණියත් දේශපාලනය කරන්නට කාන්තාවන් ඒ හැටි නොපැමිණෙන බවයි. සමාජ ප්‍රගමනය තුළ එය ස්වභාවික හැසිරීමකි. නමුත් රාජ්‍ය නොවන සංවිධානයන් බොහෝ විට උත්සාහ ගන්නේ මේ ස්වභාවික චලනය වෙනස් කර වැඩි කාන්තා සහභාගීත්වයක් දේශපාලනය තුළ තබා ගැනීමටයි.

තරුණ අසහන කොමිසමේ නිර්දේශයන් අනුව පළාත් පාලන මැතිවරණයට තරග කරන නාම යෝජනා ලැයිස්තුවක යම්කිසි නිශ්චිත ප්‍රතිශතයක් (මතක විදිහට 30%ක්) තරුණ නම් තිබිය යුතු යැයි නීතිගත වූ පසුව මැතිවරණයට තරග කරන පක්ෂ හා කණ්ඩායම් අලි අමාරුවක වැටුණි. ඒ නිසා කෘතිම නියෝජනයන් ඇති කරන ලදි.

යම් ආන්තික කොටසකට සමාජය තුළ නියෝජනයක් ස්ථාපිත කළ යුත්තේ කෘතිමව හෝ බලෙන් හෝ නොවේ. එසේ කළ විට එය විකෘති තත්ත්වයන් ජනනය කරයි. කාන්තාවන් දේශපාලනය තුළ සිටිය යුතු බව ඇත්තකි. එහෙත් එය කළ යුත්තේ බලහත්කාරයෙන් නොවේ. යම් කිසි කාන්තාවක් දේශපාලනයට ලැදි නම් හෝ ඒ තුළ දක්ෂ නම් හෝ නාම යෝජනා ලබා ගැනීම දුෂ්කර කටයුත්තක් නොවේ. එවැනි අයකුට කාන්තාවක් වූ පළියට නාම යෝජනා නොදී පැරදෙන පිරිමියකුට අපේක්ෂකත්වය දෙන්නට තරම් දේශපාලන පක්ෂ මෝඩ නැත.

ප්‍රශ්නය පැන නගින්නේ කාන්තාවන්ට නාම යෝජනා ලබාදීමේ දී දේශපාලන පක්ෂ අවස්ථාව ලබා නොදීම නොවේ. එවැනි කාන්තාවන් සමාජය තුළින් ඉස්මත්තට නොපැමිණීම මූලික ගැටළුවයි. අප විසදුම් සෙවිය යුත්තේ ඒ මූලික ගැටළුවටයි.

එහෙත් ව්‍යාපෘති ආධාර මත යැපෙන රාජ්‍ය නොවන සංවිධානයක විෂය පථයට ඇතුලත් වන්නේ කාන්තාවන් දේශපාලනයට නො එන නැඹුරුව වෙනස් කිරීම නොවේ. ඔවුන්ගේ විෂය පථය තුළ ඇත්තේ නැඹුරුව කෙසේ වෙතත් අවස්ථාව සහතික කර විදේශ අරමුදල් ලබා ගැනීමයි. මෙය රාජ්‍ය නොවන සංවිධානයන්ගේ අදේශපාලනික භාවිතාවේ ප්‍රතිඵලයකි.

රාජ්‍ය නොවන සංවිධාන රටක සමාජ දේශපාලන ප්‍රවාහයට කරන්නා වූ බරපතල හානිය ද එයයි.

කේ.ජී.පිලිප් ශාන්ත