“ෆැසිස්ට්වාදී ගෝටාභය රාජපක්ෂ” /”ප්‍රජාතාන්ත්‍රවාදී ගෝටාභය රාජපක්ෂ “

ගෝටා 2020 ජනාධිපතිවරණයට තරග කරාවි යන උපකල්පනය මත ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් විවෘත කළ අවකාශයක බොහොමයක් තම අදහස පවසා තිබුණා. ආචාර්ය නිර්මාල්ගේ අදහසට පාදක වී තිබුණේ රාජපක්ෂ පාලනය තුළ ගොටාගේ හැසිරීමේ ජාතිකවාදී කියවීමක් යැයි මට හිතුනා.

2005 – 2014 රාජපක්ෂ පාලනය තුළ කොටි සංවිධානය සමූල ඝාතනය කිරීම රාජපක්ෂවරුන්ගේ දේශපාලන අභිලාශයක් ඉෂ්ඨ කිරීමක් බව රාජපක්ෂ හිතවාදීන්ගේ අදහසයි. එය මුළුමනින්ම ජාතිකවාදී අභිලාශයක් බවද බටහිට ඊට මුළුමනින්ම බාධා කළා මිස කිසිම සහායක් නොදුන් බව ද ඔවුන්ගේ පරිකල්පනයයි. මේ පරිකල්පනය මාකට් කර රාජපක්ෂවරුන්ගේ දේශපාලන බලය ශක්තිමත් කර ගත් අතර ඒ නිසා දිගින් දිගටම මැතිවරණ ජය ගනිමින් රාජපක්ෂවරු රට රැක ගත් වීරයෝ බවට පත්වූහ. ආචාර්ය නිර්මාල් තම දේශපාලන අදහස් දැක්වීම තුළ ඇත්තේ ද රාජපක්ෂවරුන්ගේ රට රැක ගැනීම සම්බන්ධයෙන් වූ සමාජ පරිකල්පනයම යැයි හැගේ.

ඇත්තටම රාජපක්ෂවරුන් ඉෂ්ඨ කළේ ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය ධනේශ්වර අභිලාශයකි. එක්සත් ජනපදයට එරෙහිව එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඔවුන් ත්‍රස්තවාදයට එරෙහි පියවර ගත් අතර ඒ වැඩපිළිවෙල තුළ කොටි සංවිධානය මර්දනය කිරීමේ පියවරයන් ද ඇතුලත් වුණි. ඒ අනුව ත්‍රිකුණාමලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් 2002 තරම් ඈතක සිට එක්සත් ජනපද උදව් ලංකා රජයට ලැබුණ අතර 2007 දී ලංකාව එක්සත් ජනපදය හා ආරක්ෂක ගිවිසුමක් ද අත්සන් කළේ ය. ඒ යුගය හොදින් අධ්‍යයනය කළ හොත් කොටි සංවිධානයට එරෙහි රාජපක්ෂ ආණ්ඩුවේ යුද්දය පිටුපස එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ඈලියම සිටි බවත් ඉන්දියාව කලාපීය බලවතාගේ කාර්ය ඉටු කළ බවත් පැහැදිලි ය. ඒ සටනට මහජන චීනයේ හා පකිස්තානයේ සහාය ලබා ගැනීමට තරම් රාජපක්ෂවරු වාසනාවන්ත වූහ.

යුද්දය සම්බන්ධයෙන් වූ සමාජ පරිකල්පිතයට එරෙහිව මෙන්න මේ ගෝලීය ව්‍යුහය තුළින් විග්‍රහ කළ විට රාජපක්ෂ පාලනය යනු එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ඈලියේ ගෝලීය ධනේශ්වය අවශ්‍යතා ඉෂ්ඨ කළ පාලනයක් බව පැහැදිලි වේ. ඒ අනුව අනුකම්පා විරහිතව කොටි සංවිධානය සමූල ඝාතනය කිරීම රාජපක්ෂවරුන්ගේ දේශපාලන අවශ්‍යතාවක් යැයි විග්‍රහ කරන ජාතිකවාදී සමාජ පරිකල්පනය අමූලික බොරුවකි. ඒ අනුව ගෝටා විග්‍රහ කිරීමට ඔහු උපන් ගෙයි ජාතිවාදියෙක්, ෆැසිස්ට්වාදියෙක් යන්න යොදා ගැනීම නොමේරූ ප්‍රවේශයකි. ගෝටාභය රාජපක්ෂ යනු (රාජපක්ෂ රෙජීමය මෙන්ම) එක්සත් ජනපදය මෙන්ම බටහිර ඈලියේ ගෝලීය ප්‍රාග්ධන අවශ්‍යතා අනුව නැටවුන චරිතයකි. ඒ අනුව ගෝටා හැසිරෙන්නේ ජාතිකවාදී අවශ්‍යතා මත නොවන බව ද කිව යුතුය.

ගෝලීය ප්‍රාග්ධන අවශ්‍යතාව මත වරක් ජාතිවාදියකු, ෆැසිස්ට්වාදියකු, ඒකාධිපතියකු හෝ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වූවකු ලෙස හැසිරුණ ගෝටා ඊළග නිමේෂයේ දී වෙනස් ආඛ්‍යානයකින් හැසිරිය හැකිය. ඒ ආඛ්‍යායනය තීරණය වන්නේ ගෝලීය ප්‍රාග්ධන අභිලාශයන් සාර්ථක කරවා ගැනීමට සුදුසු වන හා අවශ්‍ය වන දේශපාලනය මත ය. 2020 ජනාධිපතිවරණයේ දී සමහරවිට ඒ සදහා “ප්‍රජාතන්ත්‍රවාදී” රනිල් වික්‍රමසිංහ තෝරා ගැනීමට ඉඩ ඇත. සමහර විට ඒ සදහා ” ෆැසිස්ට්වාදී” ගෝටාභය රාජපක්ෂ තෝරා ගැනීමට ඉඩ ඇත. ඊටත් වෙනස්ව සමහර විට ඒ සදහා “ෆැසිස්ට්වාදී ගෝටාභය රාජපක්ෂ” “ප්‍රජාතාන්ත්‍රවාදී ගෝටාභය රාජපක්ෂ ” කෙනෙකු බවට රූපාන්තරණය කෙරෙණු ඇත.

2020 දී ජය ගන්නා ජනාධිපතිවරණ අපේක්ෂකයා කව්දැයි ගෝලීය ධනේශ්වරය විසින් තීන්දු කිරීමේ දී යහපාලන ආණ්ඩුවේ දේශපාලන අභිලාශයන් සාර්ථකවීම හෝ අසාර්ථකවීම ද සාධකයක් වන බව නොඅනුමානය.

එබැවින් අප දේශපාලනය විග්‍රහ කොට අවබෝධ කරගත යුත්තේ ජාතිකවාදී ප්‍රවේශයකින් නොව ජාත්‍යන්තරවාදී ප්‍රවේශයකින් බව ඉදුරාම කිව යුතුය.

කේ.ජී.පිලිප් ශාන්ත