එක්නැලිගොඩ ඝාතනය හා මහින්ද රාජපක්ෂ

එක්නැලිගොඩ ඝාතනය මහින්ද රාජපක්ෂ යුගයේ ෆැසිස්ට් දේශපාලනික ස්වභාවයට තවත් එක් සාධකයක්. එහි වැදගත්ම හා ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් විසින් සලකා බැලිය යුතු කරුණක් වන්නේ එම ඝාතනයේ චූදිතයන් වෙනුවෙන් මහින්ද රාජපක්ෂත් එක්සත් ජනතා නිදහස් සංධානයේ විමතික මන්ත්‍රී කණ්ඩායමත් විළිලැජ්ජාවකින් තොරව පෙනී සිටීමයි.

88/89 ඝාතන සම්බන්ධයෙන් වූ බොහෝ චූදිතයන් ද ආරක්ෂක හමුදාවට අයත් වුවත් ඔවුන් “රණවිරුවන්” නිසා ඔවුන්ට නීතියේ ආරක්ෂාව ලැබිය යුතු යැයි කියන ෆැසිස්ට් මතය එදා එක්සත් ජාතික පක්ෂ නායකයෝ පැතුරුවේ නැත. මේ අන්දමින්ම යූඑන්පියේ අවශ්‍යතාව සදහා ආරක්ෂක හමුදාවන් ලබා එදත් මිනීමැරුව ද ඔවුන් වෙනුවෙන් ඝෘජුවම පෙනී සිටීමට තරම් යූඑන්පී නායකයෝ ඉදිරිපත් නොවූහ.

එහෙත් මහින්ද රාජපක්ෂ නම් ෆැසිස්ට් නායකයා හා ඔහුගේ ගෝලබාලයෝ සමාජ ගත කරන්නේ ඊනියා ආරක්ෂක හමුදා සාමාජිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළ යුතු බවයි.

තවදුරටත් සමාජය ඉදිරියේ දේශපාලනය කරන්නට මහින්ද රාජපක්ෂ හා විමතික කණඩායම අපේක්ෂා කරන්නේ නම් පහත කාරණාවන් සම්බන්ධයෙන් තම මතය පළ කළ යුතුයැයි මම යෝජනා කරමි.

1. තම පාලන කාලය තුළ දී අභිරහස් ලෙස පැහැරගෙන ගොස් ඝාතනය කළ එක්නැලිගොඩගේ ඝාතකයන් චෝදනා ලබා ඇති හමුදා සමාජිකයන් නොවේ මෙම ඝාතනය කළේ කව්ද?

2. හමුදා සාමාජිකයන් නීතියට ඉහළින් සිටිය යුතු පිරිසක් ද?

3. තම අවශ්‍යතා සදහා දේශපාලකයන් විසින් හමුදා සමාජිකයන් යොදා ගනිද්දී හමුදාවේ කීර්ති නාමයට හානිවෙන බව ඔබ නොදන්නේ ද?

4. ඝාතකයන් ආරක්ෂා කිරීම ඔබේ වගකීම නම් ඔබ පෙනී සිටින ප්‍රජාතන්ත්‍රවාදී හර පද්ධතිය ප්‍රෝඩාවක් නොවේද?

කේ.ජී.පිලිප් ශාන්ත