ලසන්ත ඝාතනයට වසර 09 යි : ඝාතකයින් සොයාගැනීමට රජය අසමත් !

සන්ඩේ ලීඩර්’ පුවත්පතේ පුරෝගාමී කතුවර නීතිඥ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට (08) වසර නවයක් සපිරේ.

වික්‍රමතුංග මහතා රත්මලානේ සිය කාර්යාලය වෙත සිය වාහනයෙන් ගමන් ගනිද්දී අත්තිඩිය පාරේදී ඝාතනයට ලක්විය.

එම ඝාතනයේ පරීක්ෂණ කටයුතු රහස් පොලිසිය මගින් යළි 2015 වසරේදී ආරම්භ කළේ වසර පහක් පුරාම එම පරීක්ෂණ කටයුතු යටපත්ව තිබීමෙන් අනතුරුවය.

කෙසේවුවද මේ දක්වා මෙම ඝාතනයට වගකිවයුත්තකු සොයා ගැනීමට අපොහොසත්ව තිබේ.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ පවුලේ ඥාතීන්ද, නෑ හිත මිතුරන්ද අද 8 වැනිදා පෙරවරු 9.00 ට බොරැල්ල කනත්තේදී ඒ මහතාගේ සොහොන් aadesh w 1බිම වෙත පැමිණ සිය ගරු බුහුමන් දැක්වීමට නියමිතය.

ජනවාරිය කළු කළ 2006 – 2012 මතක

අද පාලකයන්ට අමතක වුවත් ජනාවාරියේ රක්ත වර්ණ මිනිස් රුධිරය කැටි ගස්සවා කළුපැහැ ගැන්වීමට අදාළ වූ සිදුවීම් වලට අදාළ මතක පෙළක් අදටත් අප හමුවේ ඇත.

ජනවාරි 01 වනදා

2006 – මහරාජා මාධ්‍ය ජාලයේ (සිරස -ශක්ති )හිමිකරු ඝාතන සැලැස්මක් ඇතැයි එවකට සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග විසින් හෙළිදරව් කරනු ලැබිණ.

2008 – එක්සත් ජාතික පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේෂ්වරන් වෙඩිතබා ඝාතනය කිරීම. මෙසේ ඔහු ඝාතනය කරනු ලැබුවේ යාපනයේ සිදුකෙරෙන මිනිස් ඝාතන පිටුපස සිටින රජයේ සහ අර්ධ මිලිටරි සංවිධාන නුදුරු දිනෙක පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරන බවට ප්‍රකාශකොට පැය කිහිපයක් ගෙවීයන මොහොතකය.

2010 – මහරාජා මාධ්‍ය ජාලය සතු ශක්ති නාලිකාවේ යාපනය විකාශන තරංග රජය විසින් අත්පත් කරගෙන ITN නාලිකාවට පැවරීම.

ජනවාරි 02 වනදා

2009 – සිරස මැදිරි සංකීර්ණය බෝම්බ ගසා ගිනි තැබීම

ජනවාරි 05 වනදා

2006 – වීරකේසරී පුවත්පතේ පලකළ ජායාරූප සම්බන්ධව එම පුවත්පතේ ජායාරූප ශිල්පී ජෝ ජෙයකුමාර් ව රහස් පොලිසිය ප්‍රශ්න කිරීම.

යාපනයේ පවත්වාගෙන ගිය යාල් තිනක්කූරල් පුවත්පත් කාර්යාලය යුධහමුදාව වටලා සෝදිසි කිරීම.

2008 – හිටපු මාධ්‍යවේදියකු වූ ලලිත් සෙනවිරත්න සහ “අකුණ”නම් වෘත්තීය සමිති වාර ප්‍රකාශනයේ මාධ්‍යවේදීන් ලෙස කටයුතු කළ සිසිර ප්‍රියංකර සහ නිහාල් සේරසිංහ පැහැරගෙන යාම. එහිදී ඔවුන් එල්ටීටීඊ සංවිධානය සමඟ සම්බන්ධ බවට ප්‍රකාශ කරන ලෙසට බලකරමින් දරුණු වදහිංසාවන්ට ලක්කළ බවට පසුව වාර්තා වූ අතර ඔවුන්ට එරෙහිව මේතාක් කිසිඳු චෝදනා ගොනුකිරීමක් සිදුව නැත.

ජනවාරි 06 වනදා

2007 – එස්.බී දිසානායකගේ මුලිකත්වයෙන් නුගේගොඩ පැවැත්වීමට නියමිත වූ එක්සත් ජනතා සංවිධානයේ මංගල රැලිය වෙත මැර ප්‍රහාරයක් එල්ල කිරීම.

මෙම කඩාකප්පල්කාරී මැර ප්‍රහාරය සිදුකළේ එවකට අමාත්‍යවරයෙකු වූ මර්වින් සිල්වාගේ මෙහෙයවීම යටතේ පැමිණි මැර පිරිසක් විසින් වන අතර එම රැලිය වාර්තා කිරීමට එහි ගොස් සිටි මාධ්‍යවේදී ඥානසිරි කොත්තිගොඩ සහ අජිත් සෙනවිරත්නටද එම මැර පිරිස පහරදීම.

2008 – යාපනයේ පවත්වාගෙන ගිය උදයන් පුවත්පත වසා දමන ලෙස ආයුධ ගත් දේශපාලන පක්ෂයක් විසින් තර්ජනය කිරීම. අනතුරුව එම පුවත්පතට එරෙහිව දරුණු මර්දනයක් මුදාහැරිණ.

 ජනවාරි 07 වනදා

2008 – එවකට අමාත්‍යවරයෙකු වූ ඩග්ලස් දේවානන්ද විසින් ශක්ති රූපවාහිනියේ අධ්‍යක්ෂවරයෙකු වූ මාධ්‍යවේදී ශ්‍රී රංගා ට එල්ටීටීඊ සංවිධානය සමඟ සම්බන්ධතා ඇති බවත් ඔහු ත්‍රස්තවාදියකු බවත් පැවසු අතර අනතුරුව රංගාට දිගින් දිගටම මරණ තර්ජන එල්ලවිය.

PJ06051Aඑසේම වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ මාධ්‍යවේදී පොද්දල ජයන්තගේ නිවසට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් ඔහුට තර්ජනය කරගොස් තිබුණේද මෙදිනය. මෙම පොලිස් කණ්ඩායම කිසිඳු නිල ක්‍රමයක් අනුගමනය නොකර තිබු අතර පැමිණ තිබුණේද සිවිල් ඇඳුමෙන්ය.

2012 – යාපනයේ සිටි නිදහස් මාධ්‍යවේදියකු කිසිඳු හේතුවකින් තොරව පොලිසිය විසින් ප්‍රශ්න කිරීම සහ තමා ගැන ලියන බ්ලොක්කරුවන් ගැන සොයා බලන ලෙස යාපනය දිසාපතිනිය පොලිසියෙන් ඉල්ලා සිටීම.

ජනවාරි 08 වනදා

2009 – සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම සිදුවූ අතර එය සිදුකොට තිබුණේ රත්මලාන අධි ආරක්‍ෂිත කලාපයේය. මහ දවාලේ අධිආරක්ෂිත කලාපයක එවැනි ඝාතනයක් සිදුකර නිදහසේ පළායාමට ඇති හැකියාව ඉතා පැහැදිළිව සැකසංකා මතුකරන කරුණකි.

ජනවාරි 09 වනදා

2012 – ශ්‍රී ලංකාවේ තහනම් කර දැනට එක්සත් රාජධානියේ සිට ක්‍රියාත්මක වන lankaenews වෙබ් අඩවියට දරුණු හැකර් ප්‍රහාරයක් එල්ල කිරීම.

ජනවාරි 11 වනදා

2012 – යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබූ GSP + සහනය අහෝසිකරන ලෙස ඉල්ලා පෙත්සම් යවා ඇති බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත චෝදනා එල්ල කිරීම. ඒ සම්බන්ධව එවකට රාජ්‍ය මාධ්‍ය තර්ජනාත්මක පුවත් පළකරන තැනට යොමුව සිටි බවද මෙහිදී සිහිපත් කළ යුතුව ඇත.

ජනවාරි 12 වනදා

2006 – එවකට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ විසින් සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග වෙත දුරකතනයෙන් දරුණු ලෙස බැනවැදීම.

ජනවාරි 13 වනදා

2010 – සන්ඩේ ලීඩර් පුවත්පත් කාර්යාලයට හදිසියේ කඩා වැදුණු පොලිසිය එම ආයතනය පරීක්ෂා කිරීම.

ජනවාරි 16 වනදා

2012 – මව්බිම පුවත්පතේ කතරගම ප්‍රාදේශීය වාර්තාකරුට කතරගම ප්‍රාදේශීය සභාවේ ප්‍රියන්ත ඒකනායක විසින් පහරදීම.

ජනවාරි 17 වනදා

2012 – බලහත්කාර අතුරුදහන් කිරීමට විරෝධය පළකර සාමකාමී උද්ඝෝෂණයක් කිරීම සඳහා යාපනය බලා යමින් සිටි මාධ්‍යවේදීන් ඇතුළු දහසක පමණ පිරිසක් යුදහමුදාව විසින් නතරකර බාධා කිරීම සහ එම ගමන වලක්වන්නට උත්සාහ කිරීම.

 ජනවාරි 18 වනදා

2007 – ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා මව්බිම සහ ද සන්ඩේ ස්ටෑන්ඩර්ඩ් පුවත්පත් කාර්යාලයට සහ එම පුවත්පත් හිමිකරුගේ වෙනත් ව්‍යාපාර දෙකකට හදීසි වැටලීමක් සිදුකොට ප්‍රශ්න කිරීම සහ එම පුවත්පත් දෙකට වෙළඳ දැන්වීම් සපයන ආයතන ලැයිස්තු රැගෙන යාම. in අනතුරුවද දිගින් දිගටම එල්ලවූ මර්දනය හමුවේ එම පුවත්පත් දෙකම වසා දමන්නට සිදුවිය.

ජනවාරි 22 වනදා

2009 – එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ බවට සැකපිට ප්‍රකාශ් ශක්ති පිල්ලෙයි නම් මාධ්‍යවේදියාව ගුවන්තොටුපළේදී ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගැනීම.

පසුව ඔහුව ක්‍රස්ත විමර්ශන අංශයේ රඳවාගෙන ප්‍රශ්න කර ඇති නමුත් ඔහුට එල්ටීටීඊ සංවිධානය සමඟ සම්බන්ධතා තිබූබව අනාවරණය වුයේ නැත. සැබවින්ම ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ ශක්ති පිල්ලෙයි විසින්ම සකසාගත් ව්‍යාජ මාධ්‍ය හැඳුනුම්පතක් තිබූ නිසාය. කෙසේ වුවත් ඔහුට සිදුවුයේ කුමක්ද යන්න අද වනතුරු දැනගන්නට නැත.

ජනවාරි 24 වනදා

2007 – ත්‍රිකුණාමලයේ මාධ්‍යවේදී සුගීර්ධරාජන් වෙඩි තබා ඝාතනය කිරීම.

2009 – රිවිර පුවත්පතේ එවකට ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කල උපාලී තෙන්නකෝන් ඝාතනය කිරීමේ අරමුණින් සන්නද්ධ ප්‍රහාරයක් එල්ල කිරීම. එම ප්‍රහාරය එල්ල කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියාත්මක නොවූ බවට තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත පැවසීමෙන් අනතුරුව ඔහුට රට හැරයන්නට සිදුවිය.

2010 – මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීම සහ අතුරුදහන් කිරීම. රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම සිදුවීම සම්බන්ධව එවකට රාජ්‍ය ගැති ප්‍රචාරක ජාල දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් දියත්කර සඳහන් කර සිටියේ ඔහු සිය කැමැත්තෙන් සැගව සිටින බවය.

අනතුරුව එල්ලවූ දැඩි සමාජ බලපෑම හමුවේ විමර්ශන ආරම්භ කෙරුණත් ඊට අදාලව පැවති නීති කටයුතු වලදී එවකට නීතිපතිවරයා වූ මොහාන් පීරිස් සඳහන් කර සිටියේ එක්නැලිගොඩ ඉන්නා තැන දන්නේ දෙවියන් බවය.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු සඳහන් කර සිටියේ තමන් ඔහුව ප්‍රංශයේදී දුටු බවය. එහෙත් මේ සියළු ප්‍රකාශ වලින් ගම්‍ය වුයේ අදාළ විමර්ශන නොමග යැවීම සඳහා ඒවා සිදුකර ඇති බවය.

ජනවාරි 25 වනදා

2008 – ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වූ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ රාත්‍රියේ සිය නිවස බලා යන අතර තුර මැර ප්‍රහාරයකට ගොදුරුවීම. තියුණු ආයුධ යොදාගනිමින් එල්ල කර තිබු එම මැර ප්‍රහාරය මෙහෙයවීමට ඒ සමයේ අමාත්‍යවරයෙකු වූ මර්වින් සිල්වා සම්බන්ධ බවට ප්‍රචාරය විය. ඒ 2007 දෙසැම්බර් 27 වනදා අමාත්‍යවරයා රූපවාහිනී සංස්ථාවට කඩා වැදී සිදුකළ මැර ක්‍රියාවට එරෙහිව මාධ්‍ය දැක්වූ විරෝධයට පළිගැනීමක් වශයෙන් සිදුකරනු ලැබුවක් බවටය.

ජනවාරි 28 වනදා

2008 – තිනකරන් දිනපතා පුවත්පතේ සහය කර්තෘ සුහීබ් එම්. කසීම් ට කිනිසි ප්‍රහාරයක් එල්ල කිරීම.

2010 – රූපවාහිනී සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වූ මාධ්‍යවේදී රවී අබේවික්‍රම වෙත එම සංස්ථාවේ සභාපතිවරයා පහරදීම. ඊට හේතු වී තිබුණේ මැතිවරණය සඳහා සාධාරණ මාධ්‍ය වාර්තාකරණයක් සිදුකළ යුතු බවට මාධ්‍ය පිරිස් කරන ලද උද්ඝෝෂණයයි.

ජනවාරි 29 වනදා

2008 – ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවය කළ මාධ්‍යවේදී දුලීප් දුෂ්‍යන්ත ඝාතනය කිරීමේ අරමුණින් පිස්තෝලකරුවන් දෙදෙනෙකු ඔහුගේ නිවසට කඩා වැදීම.

2010 – 2010 ජනාධිපතිවරණයේදී සිරස රූපවාහිනී ජාලය විපක්ෂයේ අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා වෙත සහය දුන් බව සඳහන් කරමින් එම මාධ්‍ය ජාලයේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමට තීරණය කිරීම. එහෙත් පසුව එම තීරණය කල්දමනු ලැබිණ.

– ජනාධිපතිවරණයේදී lanka e news වෙබ් අඩවිය සරත් ෆොන්සේකා වෙත සහය පලකිරීම හේතුවෙන් එම වෙබ් අඩවියේ කාර්යාලයට මැරයන් එවීම.

– ජනාධිපතිවරණයේදී විපක්ෂයේ අපේක්ෂක සරත් ෆොන්සේකාට සහය දුන් හේතුව මත ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ලංකා පුවත්පත් කාර්යාලයට සීල් තැබීම.

ජනවාරි 31 වනදා

2010 – lankae news වෙබ් අඩවියේ කාර්යාලයට එල්ල කළ මැරප්‍රහාරය. එදින අළුයම 1.30 ට පමණ එල්ලකළ එම ප්‍රහාරයේදී enews කාර්යාලයේ තිබූ සියළු දේපළ ගිනිතබා විනාශ කර තිබු අතර විද්‍යුත් උපකරණ ඇතුළුව ලියකියවිලි සියල්ල විනාශකර දමන්නට එම මැරයන් ක්‍රියාකර තිබිණ.

සැබවින්ම ජනවාරි 01 වනදා සිට 31 දක්වා කළුපාට වුයේ මේ රාජ්‍ය මර්දනය කේන්ද්‍රගතව සිදුවූ අනීතික ක්‍රියා රැසක ප්‍රතිපල නිසාය. මේ අඳුරු මතකය නැවත අප ගොඩගත්තේ ඒ මර භීතිය නැවත අත්දකින්නට නොවේය. ගලාගිය මිනිස් රුධිරය යොදාගෙන වර්තමානයේ සිතුවම් අඳින වැඩ අප සතුව නැත.

එහෙත් මේ සියල්ල කල්පිත නොවන අතර මේ මිහිමත සිදුවූ සත්‍ය සිදුවීම් ය. සැබෑ මිනිස් අත්දැකීම්ය. දශකයකට ආසන්න කාලයක් තුළ මර් පොලොව මත සිදුවූ දරුණු ආකාරයේ මානව හිමිකම් උල්ලංඝණයවීම් ය.

අන්න ඒ අරුතින් අප ඔබට ජනවාරියේ කළු මතකය සිහිපත් කළ අතර එහි එකම අපේක්ෂාව මේ වින්දිතයන්ට යුක්තිය ඉටුවිය යුතු බවය. ඊට වත්මන් යහපාලනය යටතේත් බාලගිරි දෝෂය ලබා ඇත්නම් මානව හිමිකම් සහ යුක්තිය ඉටුකරවීමට අදාලව වගවීමේදී උන්ගේ සහ මුන්ගේ වෙනසක් නැති බව සිහිතබාගෙන සිටීම වැදගත්ය.