වෙස් මුහුණු බැදන් ආවට අප නැහැ රැවටෙන්නේ

සම්මුතික ආණ්ඩුවට එරෙහිව නව ජනතා බලවේගයක් ගොඩනගන්නට යැයි කියමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මෙහේයවීමෙන් පසුගිය දා බදුල්ලේ දී ආන්දෝලාත්මක දේශපාලන පියවරක් තැබුණි. එහිදී කැපී පෙනුන කරුණක් වූයේ එක්සත් ජනතා නිදහස් සංධානයේ විමතික කණ්ඩායමේ මන්ත්‍රීවරුන් එහි මූලිකත්වය ගෙනතිබීමයි. බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ යටතේ ආණ්ඩු විරෝධයක් ගැන කතා නොකරයි. එහෙත් ආණ්ඩු විරෝධයකට ඔහු තබන පළමු පියවරේ දී බහුතරය එක්සත් ජනතා නිදහස් සංධානයේ විමතිකයන්වීම උත්ප්‍රාසය ජනිත කරයි. එමගින් පෙන්නුම් කරන්නේ කොතෙක් ප්‍රතික්ශේප කළත් ආණ්ඩු විරෝධී බලවේගය තුළ ප්‍රධානියාවීමට බැසිල් රාජපක්ෂට ඇති නොතිත් ආශාවයි.
එක්සත් ජනතා නිදහස් සංධානයට එරෙහිව තවත් මැයි දින උත්සවයක් සංවිධානය කළ විමතික කණ්ඩායම එය අසාර්ථකවීමෙන් පසුව දෙමසක පමණ කාලයක් නිහඩව සිටියහ. විමතිකයන්ගේ නිහඩ බවට හේතූන් කිහිපයක්ම බලපෑවේය. මූලික වශයෙන් බැසිල්ගේ ආගමනයට විමතිකයන් කොටසකගෙන් එල්ල වූ විරෝධය මෙන්ම ජනාධිපතිවරයාගෙන් එල්ල වූ බලපෑම ද ඊට බලපාන්නට ඇත.

2015 ජනවාරී නම වැනිදා ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය වූ පසුව එම ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන නූල් සූත්තරකරු වූ බැසිල් රාජපක්ෂ ඇමෙරිකන් එක්සත් ජනපදයට පළා ගියේ ය. මැතිවරණ පරාජයක දී තම ජනතාව ආරක්ෂා කර ගනිමින් ඔවුන්ගේ විශ්වාසය තහවුරු වන පරිදි කට යුතු නොකර සටන් බිමෙන් පළා යැමේ නින්දිත ක්‍රියාව කළ බැසිල් රාජපක්ෂට ලැබුන මහජන ප්‍රතිචාරය කනගාටුදායක ය. එහෙත් තත්ත්වය සමනය වූ පසුව ඔහු නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියේ ආණ්ඩු විරෝධී දේශපාලන අරගලයේ නායකත්වය ගැනීමට ය.

බැසිල්ගේ යළි ආගමනයට විමතික කණ්ඩායමේ එක්තරා පිරිසක් අකමැති ය. ජනමාධ්‍ය වාර්තා කළ පරිදි ඩලස් අලහප්පෙරුම, මහින්දා නන්ද අළුත්ගමගේ, වාසුදේව නානායක්කාර ඒ අතර වූහ. එහි ඉදිරියෙන්ම සිටිමින් බරපතල විරෝධයක් එල්ල කළේ විමල් වීරවංශ යි. ඔවුන්ගේ ප්‍රධානම තරකයක් වූයේ මහජන විශ්වාසය අහිමි කර ගත් බැසිල් රාජපක්ෂ ආණ්ඩු විරෝධී අරගලය තුළ ඉදිරියට පැමිණීම නොවිය යුක්තක් බවයි.
බැසිල්ගේ මෙම දේශපාලන ආගමනයට විමතිකයන් එරෙහි වන විට සමාජ ජාල වෙබ් අඩවි වල ද ඒ සම්බන්ධයෙන් පැවතියේ ප්‍රබල විරෝධයකි. බලය තිබිය දී එකම කණ්ඩායමක් ලෙස සිටි පිරිස බලය අහිමි මොහොතක එකිනෙකාට එරෙහිව චෝදනා, ප්‍රති චෝදනා එල්ල කර ගනිමින් ද ඇනුම් පද කියමින් ද විරසක වූයේ බැසිල් රාජපක්ෂ යළි දේශපාලනයට පැමිණීමේ නිමිත්ත හේතුවක් කර ගනිමිනි.

සමාජ ජාල වෙබ් අඩවිවල සිට ආණ්ඩු විරෝධී වේදිකාව දක්වා තිබූ බැසිල් විරෝධය සමහන් කරමින් පසුගිය දා බැසිල් රාජපක්ෂගේ වේදිකාවට මෙකී නොකී සියල්ලන්ම ගොඩ වූයේ පොදු සතුරාට මුවාවෙමිනි. එහෙත් තමන් මෙතෙක් බැසිල් රාජපක්ෂට එරෙහිව එල්ල කළ චෝදනා තවමත් වලංගු බව මේ නෝනා මහත්වරුන්ට අමතකවීම ඔවුන්ගේ දේශපාලනයේ ස්වභාවය විය හැකිය.

විමතික කණ්ඩායම බැසිල් රාජපක්ෂට එරෙහිව එල්ල කළ විරෝධයේ පදනම වූයේ ඔහු මහජන විශ්වාසය අහිමි කර ගත් දේශපාලනඥයකු යන තර්කයයි. එහෙත් විමතික කණ්ඩායමේ මහජන විශ්වාසය අහිමි කරගත් එකම දේශපාලනඥයා බැසිල් රාජපක්ෂ නොවේ. ඒ චෝදනාව ඔහුට එල්ල කරන විමල් වීරවංශ ද මහජන විශ්වාසය බරපතල ලෙස අහිමි කරගත් දේශපාලඥයෙකි. ආණ්ඩු විරෝධී දේශපාලනය තුළ නිර්ව්‍යාජ ක්‍රියාකාරීන් සිටිය යුතු යැයි විශ්වාස කරන්නන් සලකා බැලිය යුත්තේ ඒ ඒ පුද්ගලයාගේ මුහුණ දෙස නොව ඒ ඒ පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වය දෙස ය. බැසිල් මහජන විශ්වාසය අහිමි කරගත් අයකු බව යමෙක් නිගමනයකට පැමිණියේ යම් නිර්ණායක මත ද ඒ නිර්ණායකම සැලකිල්ලට ගතහොත් විමල් වීරවංශ ද මහජන විශ්වාසය අහිමි කරගත් දේශපාලඥයකු බව පැහැදිලි වනු ඇත. එසේ සලකා බැලුවහොත් විමල් වීරවංශ පමණක් නොව බොහෝ දේශපාලනඥයන් මහජන විශ්වාසය අහිමිකරගෙන ඇති බව පැහැදිලි වනවා නොඅනුමානය.

එහෙත් ජනාධිපතිවරණයෙන් පසුව බැසිල් රාජපක්ෂට ඇමෙරිකන් එක්සත් ජනපදය “වාසභූමියක්” වූයේ කෙසේදැයි විමතිකයන් පමණක් නොව ලාංකික දේශපාලනයේ බොහෝදෙනෙක් බරපතල ලෙස සලකා බලන්නේ නැත. රාජපක්ෂ රෙජීමයේ මැතිවරණ සලකුණ වූයේ එල්ටීටීය සමූල ඝාතනය කිරීම හා බටහිර විරෝධයයි. ඒ තුළ නිතර නිතර රාජපක්ෂවාදීන් කීවේ තමන් ගොඩනගන ජාතිකවාදී ආණ්ඩුව බිද දැමීමට බටහිර රටවල් කුමන්ත්‍රණය කළ බවයි. එහෙත් එහෙව් කුමන්ත්‍රණකාරී ප්‍රධානම රටවන ඇමෙරිකන් එක්සත් ජනපදය පරාජය වී තමන් කරා එන බැසිල් රාජපක්ෂට සරණක් වූයේ හුදු මානවවාදී පදනමින්ම නොවන බව මේ පිරිස නොදනිති.

වර්තමාන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊට කලින් ගුජ්රාට් ප්‍රාන්ත ප්‍රධාන ඇමති වශයෙන් සිටිය දී අනුගමනය කළ වර්ගවාදී කටයුතු සම්බන්ධයෙන් යැයි කියමින් තම රටට ඇතුළුවීමට එක්සත් ජනපදය වීසා නිකුත් නොකළේ ය. මෝදි 2014 දී ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරයට පත්ව එක්සත් ජනපදය හා මිත්‍රත්වයක් ඇතිවන තුරුම මේ තහනම වලංගු වූ අතර එය ඉවත් කළේ ඉන් අනතුරුවය. එසේම අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ද පසුගිය දා එක්සත් ජනපදය විසින් වීසා නිකුත් නොකළ බව මාධ්‍ය වාර්තා කළේය. එහෙත් මේ බාධා ඇමෙරිකන් එක්සත් ජනපදය විසින් රාජපක්ෂවරුන්ට එල්ල නොකිරීම විශේෂත්වයකි.

පසුගිය ආණ්ඩුවට කොතෙක් මානව හිමිකම් චෝදනා එල්ල වුවද මහින්ද රාජපක්ෂ අවශ්‍ය ඕනෑම මොහොතක එක්සත් ජනපදයට වීසා ලබා ගත්තේ ය. ගෝටාභය රාජපක්ෂ පසුගිය දා ඇමෙරිකන් එක්සත් ජනපදයේ සංචාරයක නිරත වූ අවස්ථාවේ එරට දෙමළ කණ්ඩායම් ඔහුව අත් අඩංගුවට ගන්නැයි ප්‍රබල බලපෑමක් කළේ ය. එහෙත් එය බරපතල ලෙස නොසැලකූ එක්සත් ජනපද ආණ්ඩුව අවම වශයෙන් ගෝටාභයට වීසා නිකුත් කිරීමෙන් හෝ වැලැකී සිටියේ නැත. චෝදනාවක් එල්ල වන්නේ නම් සරත් ෆොන්සේකාට එල්ල වන චෝදනාව ගෝටාභය රාජපක්ෂටත් එල්ල විය යුත්තකි. එහෙත් ඇමෙරිකන් එක්සත් ජනපදය රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් තීන්දි තීරණ ගන්නේ මතුපිටින් පෙනෙන ඒ යථාර්තය අනුව නොවේ.

බැසිල් රාජපක්ෂට මෙන්ම ගෝටාභය රාජපක්ෂට ද ඇමෙරිකන් එක්සත් ජනපද පුරවැසිභාවය හිමි බව වාර්තා වේ. මේ පුරවැසිභාවය නිසා තම පුරවැසියන්ට එරෙහිව ඇමෙරිකන් එක්සත් ජනපදය මෘදු ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා විය හැකිය. මෙරට දේශපාලනයේ දී එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් රාජපක්ෂවරුන්ට වහකදුරු වුවත් තම පැවැත්ම සදහා එක්සත් ජනපදය හා යම් එකගතාවකට පැමිණ සිටින්නවා විය හැකිය. ඒ නිසා කොතෙක් කුමන්ත්‍රණ චෝදනා එල්ල කළ ද එක්සත් ජනපදය විසින් රළු ආකල්පයක් රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් අනුගමනය නොකරනවා විය හැකිය. රාජපක්ෂවරුන්ගේ එක්සත් ජනපද සම්බන්ධය අතිශයෙන්ම වැදගත් වන්නේ මේ කරුණු කාරණා සලකා බලනවිට දී ය. බැසිල් රාජපක්ෂ මහජන විශ්වාසය අහිමිකර ගත් අයකු ලෙස ඔහුට ඇගිල්ල දිගු කරන කිසිවකු නොකියන්නේත් සගවන්නේත් ප්‍රශ්න නොකරන්නේත් රාජපක්ෂලාට එක්සත් ජනපදය සමග ඇති සමීප සබදතා ය.
සම්මුතික ආණ්ඩුවට චෝදනා එල්ල කරන රාජපක්ෂවරුන් නිතරම පවසන්නේ රටේ ස්වෙරීභාවයට තර්ජනයක් වන පරිදි බටහිර රටවල් හැසුරුනත් ඒ සම්බන්ධයෙන් කිසිම පියවරක් නොගන්නා බවය. එසේම තමන් මහත් අභිමානයෙන් යුතුව රටේ ගෞරවය ආරක්ෂා කරන්නට පවත්වාගෙන ගිය විදේශ ප්‍රතිපත්තිය සම්මුතික ආණ්ඩුව විසින් පාවා දී ඇති බව ය. ජාතික දේශපාලනයේ දී එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවලට කුමන්ත්‍රණ චෝදනා එල්ල කරන රාජපක්ෂවරුන් ඒ එක්සත් ජනපදය සමගම තම පෞද්ගලික ගනුදෙනු ගැටුමකින් තොරව විසදා ගැනීම දේශපාලන උභතෝකෝටිකයක් නිර්මාණය කරන බව සැලකිල්ලට ගත යුතුය. ජාතිකවාදී පදනමකින් ආණ්ඩු විරෝධී බලවේගයක් නිර්මාණය කරන්නට කැසකවන කිසිවෙක් රාජපක්ෂවරුන්ගේ දවල් මිගෙල් රෑ දනියෙල් ප්‍රතිපත්තිය ප්‍රශ්න නොකරම පිළිගැනීම නින්දාසහගත ය.

2005 වර්ෂයේ දී මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සංධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන තුරු ඔහුගේ සහෝදරයන් වූ බැසිල් හා ගෝටා වාසය කළේ ඇමෙරිකන් එක්සත් ජනපදයේ ය. ඔවුන් එම රටේ පුරවැසිභාවය ලබා සිටි අතර ශ්‍රී ලංකාවට පැමිණියේ තම සහෝදරයා ජනාධිපති කරවීමට ය. එහෙත් මේ ඇමෙරිකන් පුරවැසියන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණියේ හිස් අතින් ඉතා සත්භාවයෙන් තම සහෝදරයාට සහාය වන්නට යැයි පැවසිය නොහැක. එහි කූට ප්‍රාප්තිය වූයේ එල්ටීටීඊ සංවිධානය හා යුද්දයකට යන්නට රාජපක්ෂ රෙජීමය තීරණය කිරීමත් සමග ය.

ප්‍රභාකරන් කොහොමත් සිටියේ යුදමය විසදුමකින් ලබා ගන්නා ඊලාම් රාජ්‍යයේ සිහිනය තුළ ය. ලෝක ත්‍රස්තවාදය මුළුනුපුටා දැමීමට තීන්දුවක් ගෙන සිටි ඇමෙරිකන් එක්සත් ජනපදය ඒ අනුව එල්ටීටීඊය ද සමූල ඝාතනය කළ යුතු බවට 2003 වර්ෂය වනවිටත් තීන්දුවක් ගෙන තිබුණි. දෙමළ අන්තවාදයේ යුද අවශ්‍යතාව වෙනුවෙන් වේලුපිල්ලේ ප්‍රභාකරන් පෙනී සිටින විට ඇමෙරිකන් එක්සත් ජනපදය ඇතුළු බටහිර ඈලියේ යුද අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටියේ රාජපක්ෂවරුන් ය. දශක දෙක තුනක භීෂණයේ අත්දැකීම් සමග ජාතික ප්‍රශ්නයට දේශපාලන විසදුමක් අවශ්‍ය යැයි සිතන මනෝභාවයක සිටි සමාජය නැවත යුදවාදය කරා තල්ලු කළේ ප්‍රභාකරන් – රාජපක්ෂ සුසංයෝගය විසිනි. ඒ නිසා 2005 ජනාධිපතිවරණ ජයග්‍රහණයත් ඒ සමගම ඇමෙරිකන් එක්සත් ජනපද පුරවැසියන් දෙදෙනෙකු මෙරට තීරාණාත්මක තනතුරු වලට පත්වීමත් අහඹුවක් විය නොහැක.

එහෙත් රාජපක්ෂවරුන් මතවාදයක් ලෙස ලාංකික සමාජය තුළ නිර්මාණය කළේ එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ඈලිය ශ්‍රී ලංකාවේ ස්වෙරීභාවය නොපිළිගනිමින් ජාතිකවාදී රාජපක්ෂ රෙජීමය බිදවැට්ටවීමට කුමන්ත්‍රණය කරන බවකි. එහෙත් ආරක්ෂක අමාත්‍යංශයේ එවකට ලේකම් වූ ගෝටාභය රාජපක්ෂ යුද්දයේ අවසන් අදියරේ දී ප්‍රකාශ කළේ මෙවැන්නකි.

” අපට වඩාත්ම තීරණාත්මක වන්නේ ඉන්දියාවයි. ඉන්දියාව 100%ක්ම ඉන්නේ අප සමගයි. පාකිස්තානය හා චීනය සමග සම්බන්ධතාවක් පවත්වන්නට අපට සිදුව ඇත්තේ ඇයිද යන්නත් ඉන්දියාව හොදින් වටහාගෙන තියෙනවා. ඊළගට එක්සත් ජනපදයත්, එක්සත් රාජධානියත්, යුරෝපා සංගමයත් සිටිනවා. මේ සෑම රටක්ම ත්‍රස්තවාදීන්ට එරෙහිව නීතිමය පියවර ගනිමින් සහ අරමුදල් රැස් කිරීම් වලට තිත තබමින් ඉන්නේ”

එල්ටීටීඊයට එරෙහි යුද්දයේ තීරණාත්මක මොහොතක ගෝටාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ඉන්දියාවටත් එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ඈලියටත් කරන මේ සහෝදරාත්මක ප්‍රශංසාව අහඹුවක් විය නොහැකිය. එල්ටීටීඊය සමූලඝාතනය කිරීම ගෝලීය භූ දේශපාලන අවශ්‍යතාවකි. එහි දේශපාලන හස්තය වූයේ එක්සත් ජනපදය ප්‍රධාන බටහිර ඈලියයි. ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතාව ඉෂ්ඨ කළේ රාජපක්ෂ රෙජීමයයි. එහි ප්‍රධාන නියෝජිතයන් දෙදෙනකු වූයේ ගෝටාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ අයියා මලෝ දෙදෙනායි. ඒ අනුව එක්සත් ජනපද අවශ්‍යතාවක් ඉෂ්ඨ කළ රාජපක්ෂවරුන්ට නිය පිටින් පහරක් ගැසීමට කවුරු පියවර ගනීද?

ලෝක භූ දේශපාලනයට පිටු පා යෑමට ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට ඉතා අසීරුය. එනිසා රාජපක්ෂවරුන් ඉෂ්ඨ කළේ තාර්කික කොන්ත්‍රාත්තුවකි. ජාත්‍යන්තර දේශපාලන ප්‍රවනතා ගැන අවබෝධයකින් කටයුතු කරන්නන්ට රාජපක්ෂවරුන්ගේ දේශපාලනය තේරුම් ගන්නට අපහසුවූවක් නොවේ. එහෙත් ගැටළුව පැන නගින්නේ තමන් එක්සත් ජනපදයට කොන්ත්‍රාත්තුවක් ඉටුකර දෙමින් තම ජාතික දේශපාලන පැවැත්ම සදහා එහි ප්‍රතිවිරුද්ධය දෝතට ගැනීමයි.එනම් මුළුමනින්ම එක්සත් ජනපදයේ නියෝජිතයන් වන රාජපක්ෂවරුන් “ලංකාවේ දේශපාලන දකුණ”ට කතා කරන්නේ ඇමෙරිකන් විරෝධයක් ගැනය. ඇමෙරිකන් කුමන්ත්‍රණ ගැනය. එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ඈලිය තමන්ගේ ආණ්ඩුව පෙරලීමට කටයුතු කළ බවය. මෙය රාජපක්ෂවරුන්ගේ තක්කඩිකම මිස අනෙකක් නොවේ.

රාජපක්ෂලා සම්මුතික ආණ්ඩුව පෙරලා අලුත් ආණ්ඩුවක් හදන්නට නැවතත් කටයුතු කරන්නේ මේ තක්කඩිකම් සමගමය. ආණ්ඩු විරෝධී දේශපාලනයට මේ තකක්ඩිකම් තේරුම් ගන්නට නොහැක. එහෙත් 2015 ජනවාරී 08 වෙනිදා යහපාලනයක් උදෙසා දේශපාලන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය වෙනුවෙන් පෙනී සිටි සමාජ කොටසට මෙහිදී වගකීමක් පවතී. ඒ වගකීම වන්නේ රාජපක්ෂවරුන්ගේ තකක්ඩිකම් සමාජයට පෙන්වාදීම පමණක් නොවේ. සම්මුතික ආණ්ඩුවේ බලතුලනය ගිලිහී යන මොහොතක එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ඈලිය රාජපක්ෂවරුන් හා යළි සම්මුති ගත වන්නට ද පවතින ඉඩ කඩ බැහැර කළ නොහැකි බව සිත තබා ගෙන කටයුතු කිරීම ඒ වගකීමයි.

පිලිප් ශාන්ත