බිරිදගේ ගෙලේ තිබූ රන් මාලය හා අමරසිරි දොඩංගොඩ

මහින්ද රාජපක්ෂ නැතිව කටට ගත්ත කෑම ටිකත් ගිලෙන්නෙ නෑ කිව් ජාතියේ දේශපාලකයෙක් තමයි චන්දිම වීරක්කොඩි කියන්නෙ. ඔහු මැතිවරණ ව්‍යාපාරය පුරා ප්‍රචාරය කළේ ගෝත්‍රිකවාදී අදහස් මිසක් පුළුල් දේශපාලනික දැක්මකින් යුත් අදහස් නෙවෙයි.

තම ඥාතියා වූ හිටපු අමාත්‍ය අමරසිරි දොඩංගොඩට හැත්තෑව අසූව දශකයන්ගේ පවා තිබූ තරම් දේශපාලන දැක්මක් හෝ චන්දිම වීරක්කොඩිට තිබුනේ නෑ. අවම වශයෙන් තමන් දැරූ නියෝජ්‍ය කතානායක ධූරයේ ගෞරවය හෝ ආරක්ෂා කරගෙන දේශපාලන අදහස් දැක්වීමට තරම් පරිචයක් චන්දිමට තිබුනේ නෑ. ඒ අර්ථයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ නිශාන්ත මුතුහෙට්ටිගම බොහෝ අය පිළිකුල් කළත් තම දැනුමට සාපේක්ෂව චන්දිමට වඩා නිශාන්ත අවංක බව මගේ හැගීමයි.

බිරිදගේ ගෙලේ තිබූ රන් මාලය උගස් කර දේශපාලනය කළ යුගයක අමරසිරි දොඩංගොඩ ගාල්ලට නායකත්වය දුන්නා නම් චන්දිමලා නායකත්වය දෙන්නේ බිරිදට තව තවත් ගෙල බදින රන් මාල එකතු කර ගන්නා වූ යුගයක බව නොරහසක්.

මේ ආණ්ඩුවෙ ප්‍රබල අමාත්‍ය ධූරයක් සදහා ගාල්ලෙන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් තේරීමේ දී ජනාධිපතිවරයාගේ තේරීම චන්දිම වීරක්කොඩි වන්නට ඇත. එහෙත් චන්දිම වීරක්කොඩි එමගින් ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වූයේ මොන තරම් දේශපාලනික කයි කතන්දර කිව්වත් මහින්ද චින්තනවාදීන්ගේ දේශපාලන තක්කඩිකම මිස අනෙකක් නොවේ.

මට ගැටළුව වන්නේ චන්දිම වීරක්කොඩිලා මෙතැනට පත්වන්නට වැපුරූ ජාතිවාදය හා ගෝත්‍රවාදය නිසා සමාජයට සිදුවූ හානියට වන්දි ගෙවන්නේ කවුරුන් විසින්ද යන්නයි

කේ.ජී.පිලිප් ශාන්ත