නමවැනි වසරත් එහෙමමයි.

ලසන්ත ඔබ නොදන්නවා වියයුතුයි.

ඔබේ නමින් හැඬූවෝම ඔබේ පුවත්පත් දෙක මිළදී ගත් බව. ඔවුන් ඔබේ ඝාතනයේ නමින් බලයට ආ බව. ඔවුන් ඔබේ ඝාතනය පිළිබඳ ප්‍රවෘත්තිවත් පළ කරන්න ඉඩ නොදුන් බව. ඔවුන් ඔබේ නමත් පුවත්පතුත් විකුණා ඔබව ඝාතනය කළෝ ලඟම දෙපා නමදින බව. ඔබත් සමඟ ඔබේ සන්ඩේ ලීඩර්- ඉරුදින පණපිටින් වැළලූ බව. ඉන්පසුව පරණ නමින් අලුත් පුවත්පත් පටන්ගත් බව. ඔබ පසුපස ආ මාධ්‍ය සගයන්ව ඔවුන්ටත් හොරා අද ඒවායින් එළියට දමා ඇති බව. ලසන්ත ඔබව නැවත ඝාතනය කර වසර තුනකි අදට. ඔබේ මතින් බලයට ආ ඔබේ මිතුරෝද, ඔබේ ලඟම සිටියවුන්ද අද ජුදාස්ලා, බෲටස්ලා සමඟ යෙහෙන් වැජඹෙනු පෙනේ. බොරැල්ලේ ඝණ කොන්ක්‍රීට් තට්ටුවට යටිනුත්, පාලුවට ගොස් වැසුණු රත්මලානේ ලීඩර් කාර්‍යාලයෙත් ඉන්නා ඔබ මේ කිසිවක් නොදන්නවා විය යුතුයි..

ලසන්ත ,
අවුරුද්දකට කළින් කිව් දේම අදත් එහෙමමයි..

“ලසන්ත”

ජනමාධ්‍ය ගැන හැඟීමක් දුන් මිනිසෙක්

ජනමාධ්‍ය පිළිබඳ හැඟීම තවකෙකු තුළ උපද්දවන්නට හැම පත්තරකාරයෙකුටම නොහැකිය. හැඟීම ඉපිදවිය හැක්කේ එම විෂය පිළිබඳ යථානුභූතවාදී හැඟීමක් ඇත්තෙකුටය. ලසන්ත වික්‍රමතුංග ජනමාධ්‍ය පිළිබඳ හැඟීම තමා සමග වෙසෙන නොවෙසෙන අනෙකා තුළ ඇතිකිරීමට සමත්වූ ජනමාධ්‍යවේදියෙකි. ඔහු හැමවිටම මොකක්ද සිදුවූයේ නොව මොකක්ද සිදුවන්නේ යන්න ගැන සුපරික්‍ෂාකාරීව සිටි පත්තර කලා වේදියෙකි. එම සුපරීක්‍ෂාව නිසාම ඔහුට හැම විටම අන් අයට හමු නොවන ජනමාධ්‍ය ලෝකයක් මුණ ගැසුණේය. ඒ ජනමාධ්‍ය ලෝකයේ හෙතෙම එකලාව භුක්ති නොවින්දේය. ඔහු අන්‍යයන් සමග තොරතුරු හුවමාරු කර ගත්තේය. හැමවිටම කාර්යාලයේදී හමුවන ඕනෑම කෙනෙකුගෙන් ඔහු ඉංග්‍රීසි බසින් විමසන ප්‍රශ්නයක් තිබිණි.

“මොකද වෙන්නේ?”

ඔහු තමාට මොකද වෙන්නේ යන්න ගැනත් දැනගෙන සිටියා විය හැකිය. එහෙත් තමාට සිදුවන දෙයට වඩා තම අනෙකාට, එල්ල වන විෂම සැලකීම ගැන ඔහු තැවුලින් පසුවූයේය. කෝපයෙන් පසුවූයේය. ඉන් නිපන් ඇත්ත ආතතියෙන් අනෙකාගේ ප්‍රශ්නය ගැන ලිව්වේය.

ලසන්ත මහමඟදී නිහඬ කැරුණේ ඒ නිසාය. තමාගේ වැඩක් බලාගෙන සිටීමට ලසන්තට ඕනෑ තරම් අවකාශ තිබුණි. එහෙත් ඔහු තමා නොසලකා හැරීයේය. අනෙකාගේ ජීවිත අයිතිය වෙනුවෙන් ප්‍රාර්ථනා දල්වාලන්නට හැම විටම මඟ හෙළිපෙහෙළි කළේය.

ලසන්ත නික්ම ගොස් වසර අටකි. එහෙත් ඔහුට සාධාරණය ඉටු කිරීමට අපිට නොහැකි වූයේය. ලසන්තගේ අටවැනි ගුණ අනුස්මරණය යෙදී තිබෙන්නේ ජනවාරි 08 වැනිදාය. ඔහුගේ හද බිඳ දැමුවන් දේශපාලනිකව පරාජයට පත් වූයේද ජනවාරි 08 වැනිදාය. ජයග්‍රාහකයන් ලසන්ත වෙනුවෙන් සාධාරණය ඉටු කරනු ඇතැයි අප විශ්වාස කළෙමු. එහෙත් සුරුට්ටුව පත්තු වෙමින් තිබෙන්නේ ඇතල් පැත්තට බව හදිසියේම වාගේ නඩරාජා රවිරාජ් සහෝදරයා ඊයේ පෙරේදා දවසක අපට පසක් කොට දුන්නේය. ඉතින් නියමිතව තිබෙන්නේ කට පිච්චෙන්නටය.

අප හිඳින්නේ කට පිච්චුනත් සුරුට්ටුව වීසි කළ නොහැකි තත්ත්වයකය. ලසන්ත නික්ම ගොස් වසර අටකින් මෙවැනි සංකීර්ණ ආරවුලක් ඇතිවේ යැයි අප නොසිතුවෙමු.

හිතවත් ලසන්ත

ඔබ මියගොස් වසර අටකින් මෙහෙම නම් වසර නවයක් ගතවන දවසේ අප කුමක් කියන්නද? එදාට මෙදා තරම්වත් දෙයක් කීමට අප සමත් වනු ඇත්ද? අසමත් වනු ඇත්ද? ඒ ප්‍රශ්නය භාර කාලයට නොව අපටමය.

ඉරුදින
08.01.2017