ලසන්ත මරලා අවුරුදු 9යයි, යහපාලනයට අවුරුදු 3යි, ලසන්තට යුක්තිය කෝ? (VIDEO)

රත්මලානේ පිහිටි සන්ඬේ ලීඩර් කාර්යාලයට එන සෑම උදෑසනකම ඉදිරිපස දොරටුව අභියස අප දෙසට තීක්ෂණ දෑස සහ අතැඟිලි යොමා බලා සිටින ලසන්ත ගේ ආලේඛ්‍ය රූපය අපගේ හෘද සාක්ෂිය විමසයි. මින් හරියටම වසර අටකට පෙර ජනවාරි 8 වැනිදාක අත්තිඩිය අධිආරක්ෂිත කලාපය තුළ මහ පාරේ ඝාතනය වූ ඔහු ගැන අදටත් නිහඬ ඇයි? අදටත් ඔහුව ඝාතනය කෙරුවෙක් නොමැති ද? ඔහුට කවරදාක සාධාරණය ඉටු වේද? එම ප්‍රශ්නය අසනවා මෙන් ඔහු සෑමදාම එකම ඉරියව්වෙන් නොසෙල්වී සිටී.ඔහුගේ ඝාතනයට ඍජුවම වග කිව යුතු රාජ්‍ය ත්‍රස්තවාදයේ කූටප්‍රාප්ත නිමැවුම්කරුවන් ඉන් වසර හයක් ගත වන තුරු කිසිදු පරීක්ෂණයක් නො කළේය. ලසන්ත ඝාතනය විකුණා බලයට ආවෝ අද ලසන්ත දෙවැනි වරටත් ඝාතනය කර වළ දමා හමාරය. ලසන්තට තවදුරටත් මේ ආණ්ඩුවෙන් යුක්තිය ඉටු නොවන බවට කැට තබන්න ඉකුත් සතිය හොඳටම ප්‍රමාණවත් ය. ඊට පෙර ගෙවුණු මාස ගණනාවක දී සිදු වූ දේ ද,බලය ලබාගැනීමෙන් පසුව යහපාලන තුළ ගෙවුණු වසර දෙක ද ඊට හොඳටම ප්‍රමාණවත් ය.

ලසන්ත, වසර දෙකකට පෙර මහ පාරේ වෙඩි වරුසාවකින් ඝාතනය වුණු නඩරාජා රවිරාජ් ඝාතනය කළ අයෙක් නොමැති බව පසුගිය සතියේ දී තීන්දු වූ බව ඔබ තවමත් නොදන්නවා විය යුතුය. වසර අටක් පුරා කිසිදු පරීක්ෂණයක් සිදු නොකැරුණු එම ඝාතනය යහපාලනය තුළ දී ඔබේ ඝාතනය සේම උඩ ආවේය. ඉන් පසුව සිද්ධිය ඇසින් දුටු එවකදී ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ සාක්ෂිකරුවෙකු සාක්ෂි ලබා දී තිබිය දීත් අත්අඩංගුවට ගත් සියල්ල නිදොස් කොට නිදහස් කළේය. නව පාලනය විසින් ද පෙර උදවිය සේම රාජ්‍ය ත්‍රස්තවාදයට හා නිල ඝාතකයන්ව ආරක්ෂා කරමින් රවිරාජ් මින් මතුවටත් සදාතනිකව වළ දමනු නියතය. ඔබේ ඝාතනයෙන් වසර දෙකකට පසුව අතුරුදහන් වුණු ප්‍රගීත් පිළිබඳ පරීක්ෂණ තතු ද එලෙසමය. ඔහුගේ පැහැර ගැනීමට සැකපිට සිටි සියල්ලෝම අද නිදහස් ව නැවත ඔවුන්ගේ පෙර රාජකාරිවලය. ලසන්ත, ඔබ දිනපතා අපේ හෘද සාක්ෂියෙන් අසන පැනයට කවදා කෙසේ පිළිතුරු දෙම් ද? ඔබටත් රවිරාජ්ට අත් වූ ඉරණම හිමි වීමට නියමිත බව කෙසේ කියම් ද?

2006 වසරේ නොවැම්බර් 10 වැනිදා උදෑසන 7.00ට පමණ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් පෞද්ගලික රූපවාහිනි සංවාදයක දී සජීවී සාකච්ජාවකට එක් වී උතුරේ ගැටලූ ගැන කීවේය. ඒ-9 පාර වැසීමෙන් උතුරේ දෙමළ ජනයා සාගින්නෙන් ද ජාතිවාදී අරගලයෙන් ද, යුද්ධයෙන් ද අසරණ වී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කීවේය. ඉන් විනාඩි 30කට පසු නාරහෙන්පිට තම නිවසට පිටත් වූ ඔහුට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට දී වෙඩි වර්ෂාවකින් අවසන් ගමන් යන්න සිදු විය. ඔහුට අමතරව ඔහුගේ ආරක්ෂකයාව සිටි පොලිස් කොස්තාපල් ලොකුවැල්ල මොරගේ ලක්ෂ්මන් ද එතැනම ඝාතනය විය. මෙම ඝාතනයට සැකපිට වසර ගණනාවකට පසුව නාවික හමුදා නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය. මුළු සැකකරුවන් ප්‍රමාණය හයක් වූ අතර පසුගිය වසරේ ජූලි 21 වැනිදා මෙම ඝාතන නඩුව කැඳවූ අවස්ථාවේ දී පිළිවෙලින් දෙවන, තෙවන සහ තුන්වන විත්තිකරුවන් කරමින් ලූතිනන් ප්‍රසාද් චන්දන කුමාර, නාවික හමුදා නැවි ගාමිණී කුමාර, ජ්‍යෙෂ්ඨ බලනොලත් නිලධාරී ප්‍රදීප් චාමින්ද හෙට්ටිආරච්චි යන විත්තිකරුවන් ට අධිචෝදනා බාර දෙන ලදී. ඒ අනුව මෙම නඩුවේ පළමුවෙනි විත්තිකරු වූ පලනසාමි සුරේෂ් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් මේ වනතුරුත් අතුරුදන් වී ඇති නිසා ඔහු මිය ගිය අයෙකු සේ සලකා පළමු විත්තිකරු ඉවත් කර නඩු විභාගය පවත්වන ලදී. පිළිවෙලින් පස්වන සහ හයවන විත්තිකරුවන් වූවේ හිටපු රජයට සම්බන්ධ වූ එල්ටීටීඊ සංවිධානයේ කරුණා අම්මාන්ගේ සගයන් දෙදෙනෙකු වූ සිවකාන්තන් විවේකානන්දන් හෙවත් චරන් හා සේවියර් වොයිස්ටන් ක්‍රිස්ටෝපර් හෙවත් දුශේන් නමැත්තන්ය. ඔවුන් විදේශගතව අතුරුදන් වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට දන්වා තිබුණි. ඔවුන් සිතාමතාම අධිකරණය මඟහරින බවට සලකමින් ඔවුන් නොමැතිව මෙම නඩු විභාගය පැවැත්වීමට තීරණය කරන ලදී.

තමන්ට එරෙහිව ඇති මෙම නඩුව සිංහල ජූරි සභාවක් ඉදිරියේ ඇසිය යුතු බවට විත්තිකරුවන් තිදෙනා කළ ඉල්ලීමට අනුව පසුගිය වසරේ නොවැම්බර් මස 22 වැනිදා සිට දින 22ක් පුරා දිනපතා විභාගයට ගැනිණි. කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක සහිත සිංහල කාන්තාවන් හයක් සහ එක් පිරිමි පුද්ගලයෙකු සහිත විශේෂ ජූරි සභාවක් ඉදිරියේ මෙම නඩුව අසන්නට විය. එහි දී මෙම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන තිබී පසුව නීතිපති කොන්දේසි මත විශේෂ සමාවක් ලැබූ එවක දී ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් ප්‍රීතිවිරාජ් මනම්පේරි මෙම ඝාතන නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු ලෙස තමන් ඇසින් දුටු සාක්ෂි ලබාදෙන ලදී.

නොවැම්බර් 24 වැනිදා සාක්ෂි ලබා දෙමින් ඔහු ප්‍රකාශ කර තිබුණේ අදාළ ඝාතකයා වෙඩි තැබීමෙන් පසුව දිව විත් තමන්ගේ මෝටර් සයිකලයට නැග එතැතින් පලා ගිය බව ඇතුලූ තවත් ඉතා වැදගත් සාක්ෂිය. තමන් පැදගෙන ගිය මෝටර් බයිසිකලය ඊට පසු දින බුද්ධි අංශයේ කාමරයක කොටස් වලට කපා තිබෙනු තමන් දුටු බවත්,එය පසුව මුහුදට දැමූ බව දැනගන්න ලැබුණු බවත් මහාධිකරණ භූමියේ දී සාක්ෂි ලබා දුන්නේය. ඊට පසුව වින්දිත පාර්ශ්වය වෙනුවෙන් ඝාතනය වූ රවිරාජ් මහතාගේ බිරිඳ ඇතුළු ආරක්ෂක අංශයේ 27 දෙනෙකු සාක්ෂි ලබා දෙන ලදී. විත්තිකරුවන් වෙනුවෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී පමණක් සාක්ෂි ලබා දෙන ලදී. ඒ අනුව පසුගිය දෙසැම්බර් මස 24 වැනිදා ලෝක නඩු ඉතිහාසයේ පළමු වරට අලූයම 12.15ට තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. එම තීන්දුව අනුව දැනට මෙරටින් පලාගොස් සිටින විත්තිකරුවන් දෙදෙනා ද නාවික හමුදාවේ විත්තිකරුවන් තිදෙනා ද සියලූම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලදී. ඒ අනුව ඉතිහාසයේ කවරදාකවත් නොවූ ලෙස අලූයම 1.25ට බන්ධනාගාර නිලධාරීන් විසින් එම විත්තිකරුවන් තිදෙනා නිදහස් කරනු ලැබූහ.

යුක්තිය ඉටුවීම ද යුක්තිය ඉටුවන බව පෙනෙන්ට තිබීම ද යුක්තිය පසිඳලීමේ ප්‍රමුඛතම කාර්ය බව පුන පුනා නොකිවමනාය. නීතිය පිළිබඳව දැනුමක් නොමැති ඕනෑම අයෙකුට වුවත් මෙම ඝාතන නඩු විභාගය සිදුව ඇති ආකාරය හොඳින්ම පැහැදිලි වනු ඇත. මෙම ඝාතනයට අදාළ පළමු විත්තිකරුවා සුදු වෑන් පැහැර ගැනීමකට ලක්ව අතුරුදන් වන විට එවකට පැවති ආණ්ඩුව ප්‍රමුඛ ආරක්ෂක ලේකම්ලා රාජතාන්ත්‍රික මට්ටමෙන් රාජපක්ෂ රෙජීමයේ රාජ්‍ය ත්‍රස්තවාදී කල්ලිවල කුලී ඝාතකයන් රට යවා ඇති නම් තවත් කුමකට එරටට අධිකරණ සහ විනිසුරන්? එම විත්තිකරුවන් දෙදෙනා ස්විට්සර්ලන්තයේ වෙසෙන බවට මීට වසර එකහමාරකට පමණ පෙර දී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අනාවරණය කරගෙන තිබේ. ඔවුන්ව එහි ගොස් අත්ඩංගුවට ගැනීමට නීතිපතිවරයාගෙන් එම දෙපාර්තුමේන්තුව අවසර ඉල්ලා ඇතත් මේ වනතුරු අවසර ලබා නොදී තිබේ. රාජපක්ෂ රෙජීමය සහ යහපාලනය අතර නීතිය හැසිරවීමේ ස්වාධීනත්වය මේවායින් වෙනස් වන්නේ කෙසේ ද?

ඕනෑම විත්තිකරුවෙකුට තමන්ගේ නඩු විභාගය සඳහා ජූරි සභාවක් හෝ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් යටතේ හෝ තම නඩුව පැවැත්වීමට අවසර ඉල්ලා සිටිය හැකිය. එය සියල්ලට හිමි නීතියේ හිමිකමකි.දෙමළ වින්දිතයන් වෙනුවෙන් මුළුමනින්ම සිංහල ජූරි සභාවක් පත් කිරීම යනු නීතියේ සර්වසාධාරණ බවට සහතිකයක් වනු ඇති ද? දෙමළ පාසැල් ශිෂ්‍යයන් ඝාතනය කිරීමට අදාලව පසුගිය මාසයේ දී මෙලෙසම තවත් පිරිසක් නිදහස් විය.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනුණු රවිරාජ් නඩුවට ජූරි සභාවක් පත් කළ නොහැකි බවට මූලික විරෝධතා ගොනු වුවද එය ප්‍රතික්ශේප කරමින් නඩුව පැවැත්විණි. පළමුවන විත්තිකරු අහිංසකයෙකු නම් එවක සිටි රාජ්‍ය ත්‍රස්තවාද යාන්ත්‍රණයේ සුදු වෑන් බිල්ලන් ඔහු පැහැරගෙන අතුරුදන් කරනු ඇති ද? මෙම ඝාතනයේ අවසන් විත්තිකරුවන් දෙදෙනා එවකදීම ස්විට්සර්ලන්තයට ගොස් සැඟවී සිටින්නේ ඔවුන් නිවැරදිකරුවන් නිසා ද? එවන් වටපිටාවක රවිරාජ් ඝාතනය කෙරූවෙක් නොමැතිව නඩු විභාගය අවසන් කිරීම යුක්තිය පිළිබඳව සාධාරණ සැකයක් මහජනයාට ඇති වීම වැළැක්විය හැකි ද? සම්මතකයක් ලෙස අධිකරණය ලබා දුන් තීන්දුවට අප ගරු කළ යුතුය. නමුත් අවසානයේ ඇසින් දුටු ප්‍රබල සාක්ෂි තිබිය දී රවිරාජ් සහ ආරක්ෂකයා මහ දවාලේ ඔවුන් ඔවුන්ටම වෙඩි තබා ගත්තා විය යුතුය. නොමැති නම් මෙලොව අපරාධ විද්‍යාවට හසු නොවන තාක්ෂණයකින් පැමිණි වෙනත් ග්‍රහලොවක ජීවීන් නඩයක් විසින් සිදු කළා විය යුතුය. මේ ලැයිස්තුවේම ලසන්ත ද, ප්‍රගීත් ද, තාජුඞීන් ද සිටින බව දැන් සක්සුදක් සේම පැහැදිලිය. උතුරේ ද දකුණේ ද පැහැර ගැනුණු සහ මරා දැමූ දහස් ගණනක් වූ සාමාන්‍ය මිනිසුන් ගැන තවදුරටත් අකුරු කිරීමද නිෂ්ඵලය. අධිකරණය හෝ යුක්තිය පසිඳලන ආයතන හෝ මහජනතාව අධෛර්යට පත් නොකළ යුතුය. එහෙත් යහපාලනය යුක්තිය ගෙන ඒවියැයි තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීම නිෂ්ඵල බව ලියා තැබිය යුතු වන්නේ තවදුරටත් ඒ මුලාවේ නොවැටිය යුතු නිසාවෙනි. නීතිය, යුක්තිය සහ සාධාරණය ඉටු කරන බවටත්, සුදු වෑන් යුගයක් නැවත ඇති නොවන බවටත් සපථ කළෝ අද මුණිවත රකිති. මහ පාරේ ඝාතන සහ පැහැර ගැනීම් කළ පසුගිය යුගයේ අපරාධ මිනී වළවල් මතින් බලයට ආ යහපාලනය තුළ දී තවම එළිපිට ඒවා නොවතත්, ඝාතන සැඟවීම හා අපරාධකරුවන් ආරක්ෂා කිරීම තුළින් යහපාලනය ද ආශ්චර්ය ද එක හා සමාන නොවේ ද?

කසුන් පුස්සෙවෙල
ඉරුදින 08.01.2017