ව්‍යවස්ථා විරෝධය හිතේ මවාගත්ත දේවල් නිසා ආ විරෝධයක්

ගෝඨාභය රාජපක්ෂ නමැති හිටපු ආරක්ෂක ලේකම් වරයා සිය බලය අයථා ලෙස පරිහරණය කරමින්, අපරාධ සහ දූෂණ යන උභය අංශයෙන්ම චෝදනාවට ලක් වන්නේ සෑහෙන කාලයක් තිස්සේය. සැබවින්ම මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කෙසේ හෝ පරාද කිරීමට නීති ගරුක පුරවැසියන් මර බිය පසෙකලා පෙරට ඒමට ප්‍රධාන හේතුවක් වූයේ ද ගෝඨාභය රාජපක්ෂගේ භූමිකාවේ ගොරබිරම්භාවයයි.

2015 ජනාධිපතිවරණයෙන් අනතුරුව පිහිටුවන ලද ජාතික විධායක සභාව මගින් ද ගෝඨාභය රාජපක්ෂ නීතිය ඉදිරියට ගෙන ඒමට තීන්දුවක් ගත් බව අනාවරණය විය. එහෙත් ජාතික විධායක සභාව වූ කලී පුරවැසියන් මුළා කිරීමට පිහිටුවන ලද පුස් වෙඩිල්ලක් වූයෙන් ගෝඨාභයට රැකවරණය ලැබිණි. මේ අතරවාරයේ ගෝඨාභය, තමාව අත්අඩංගුවට නොගන්නා ලෙසට අධිකරණයට ගොස් පූර්ව රැකවරණය අභිමත අන්දමට ලබා ගත්තේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට පටන් ගත් අවස්ථාවේ රාජපක්ෂවාදී භික්ෂූන් වහන්සේලා මහමඟට බැස ලංකාවේ භික්ෂූන්ගේ තරම ලෝකයාට විදහා දැක්වූහ. කෙසේ වෙතත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සිදු කළ විමර්ශනයකින් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තවත් කීපදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී කෝපයට පත් වුණ ජනාධිපතිවරයා නීතිගරුක පුරවැසියන් අන්දමන්ද කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය දෝෂ දර්ශනයට ලක් කළේය. ඇයට ඒ නිසාම තනතුර අත්හරින්නට සිදු විය. මේ සමඟම ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා ගෝඨාභය රාජපක්ෂ ශ්‍රීලනිපයේ ඉහළ පුටුවක වාඩි කිරීමට ගන්නා ලද ප්‍රයත්නය වඩාත් විවෘත අන්දමට කරළියට ආවේය. ගෝඨාභය රාජපක්ෂ ද නිර්භීත ලෙස තමා දේශපාලනයට එන බවට මල් වෙඩි සංදර්ශන පවත්වන්නට පටන් ගත්තේය. අද වන විට කළු සල්ලිකාරයන් ඊළඟ ජනාධිපතිවරණයකට ඉදිරිපත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් විවිධ වැඩසටහන් පවත්වමින් සිටින තත්වයක් ද තිබේ. කුප්‍රකට අමාත්‍යවරයෙකු පවසා තිබෙන්නේ ද්විත්ව පුරවැසිභාවය නම් වූ බාධකය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින බවයි.

අද වන විට තත්වය කුමක් ද?

යහ පාලන ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කරන්නේ රටේ නීතිය අවභාවිත කරමින්ය. ගෝඨාභය රාජපක්ෂට එල්ලවී තිබෙන අපරාධ ගණනාවකට හා දූෂණ කිහිපයකට අදාළ පරීක්ෂණ අවසන් බව දැන ගන්නට තිබේ. එහෙත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට අවසර නැත. නීතිය මත පාලනය වන රටක් අපේක්ෂා කළ සියලු පුරවැසියන්ගේ සියලු අපේක්ෂා භංග වෙන්නට තව වැඩි කාලයක් නැති බව පැහැදිලිය. ආණ්ඩුව තිරශ්චීන අන්දමට, සාපරාධී අන්දමට, නීති ගරුක පුරවැසියන්ගේ විශ්වාසය බිඳ දමන අන්දම ඛේදනීය වේ. මේ අන්දමට ආණ්ඩුවට පවතින්නට හැකි ද?

භික්ෂුව සහ නීතිය

2015 නොවැම්බර් මස 21 වෙනි දින ගෝඨාභය රාජපක්ෂගෙන් අපමණ වරප්‍රසාද ලත් භික්ෂුවකගේ නායකත්වයෙන් නායක හිමිවරුන් පිරිසක් ජනාධිපතිවරයා මුණගැසී ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට නොගන්නා ලෙස දන්වා තිබේ. මේ පුවත දැන ගන්නට ලැබුණ මොහොතේ ජනාධිපතිවරයා මුණගැසීමට වැඩම කර තිබෙන මහනායක හිමි නමකට දූර කථනයෙක් මම කථා කළෙමි. ජනාධිපතිවරයා මුණගැසීිමට වැඩම කළ බව උන්වහන්සේ සනාථ කළහ. එපමණක් නොව, ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නට ඉඩ නොදෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වු බව ද උන්වහන්සේ පැවසූහ. මහ නායක හිමියන් මුසාවක් නොකී බව මගේ විශ්වාසයයි.

ජනවාරි 08 වෙනිදා මේ රටේ නීති ගරුක පුරවැසියන් මහින්ද රාජපක්ෂ පරාජයට පත් කළේ කුමට ද? නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදීම ඊට මුල් වූ ප්‍රධාන කාරණාවකි. අද සිදු වෙමින් තිබෙන්නේ කුමක් ද?

භික්ෂූන් වහන්සේලා පවසන අන්දමට රටේ නායකයා නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අංශවලට ඉඩ නොදෙන්නේ නම් රට ගමන් කරන්නේ නැවතත් විනාශය කරාය. භික්ෂූන් වහන්සේලා මිනීමරුවන් සහ දූෂිතයන් රකින්නට භික්ෂුවට හිමි බලය අවභාවිත කරන්නේ නම්, ධර්මයට අත්වන ඉරණම කුමක් ද? භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීමට රටේ නායකයා අවනත වන්නේ නම් පුරවැසියන් අපේක්ෂා කළ නිදහස සහ ජීවත් වීමේ අයිතිය නැවතත් නැති වෙන බවය පෙනී යන්නේ.

භික්ෂූන් වහන්සේලා රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන්නේ නම්, තව දුරටත් පොලීසියක් අවශ්‍ය නැත. අපරාධ විමර්ශන අංශ අවශ්‍ය නැත. ජනාධිපතිවරයා නොපමාව කළ යුත්තේ ආරක්ෂක අමාත්‍ය පදවිය, නීතිය හා සාමය භාර අමාත්‍ය පදවිය, පොලිස්පති ධූරය, වැනි තනතුරුවලට නායක හිමිවරුන් පත් කිරීමය. එසේ පත් නොකළහොත් ඒ පදවි ඉල්ලා හෙට දින පිණ්ඩපාතයේ වඩින්නට වුව බැරි නැත.

භික්ෂූන් වහන්සේලා රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන්නේ නම් ඉදිරියට සිදු වන්නේ භික්ෂූන් වහන්සේලා කෙරේ දැඩි අප්‍රසාදයක් පිළිකුලක් තව තවත් නීතිගරුක පුරවැසියන්ගේ සිත් සතන් තුළ වැඩී වර්ධනය වීමය. එය සංඝ සාසනයේ පැවැත්මට නරක අන්දමට බලපානු නියතය.

ජනාධිපතිවරයා බලයට පත් වන්නේ රටේ බහුතර ජනතාවගේ ඡන්දයෙනි. අද ජනාධිපතිවරයා අබිමුව කරණම් ගසන රාජපක්ෂවාදී භික්ෂූන් වහන්සේලා එදා උත්සාහ කළේ දුර්දාන්ත පාලනය ආරක්ෂා කර ගැනීමටය. හෙට වුව කරන්නේ එයයි. මෙහිදී ජනාධිපතිවරයා වටහා ගත යුතු කාරණාවක් ඇත. ඒ කුමක් ද?

ජනාධිපතිවරයා භික්ෂූන් වහන්සේලාට ගරුසරු දක්වන විට ඇතැම් භික්ෂූන් වහන්සේලා ජනාධිපතිවරයා හෑල්ලුවට ලක් කිරීමය. හෑල්ලුවට ලක් කරන අන්දම අතිශයින් ශෝචනීය වේ. පසු ගිය දිනෙක කුප්‍රකට භික්ෂූන් වහන්සේ නමක් මහ සභාවක පවසා තිබෙන්නේ, ‘ජනාධිපතිවරයාගේ මිල කඨින පිංකම් එකයි’ කියාය. එවැනි ප්‍රකාශ නොකරන්නැයි වැඩිහිටි භික්ෂූන් වහන්සේ නමක් පසුව පැවසූ විට අර භික්ෂුව පවසා තිබෙන්නේ, ‘මං එහෙනම් මල් වට්ටි එකයි’ කියා කියන්නම් කියාය. මේ ප්‍රකාශවලින් භික්ෂූන් වහන්සේලාගේ මටට්ම හොඳින් විශද වන්නේය. මෙබඳු භික්ෂූන් කියන විදිහට රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන්නේ නම් රට තල්ලු වන්නේ අන්ධකාරයකටය.

කළු සල්ලි සහ මාධ්‍ය

ලංකාවේ කළු සල්ලිකාරයන් තමන්ගේ පැවැත්ම උදෙසා දේශපාලනඥයන් ග්‍රහණයට නතු කර ගන්නා අන්දම ඉස්සරට වඩා අද කැපී පෙනේ. රාජපක්ෂවරුන්ගේ අනුග්‍රහයෙන් කළු සල්ලි කඳු හිමි කර ගත් පුද්ගලයන්, කළු සල්ලිවලින් මාධ්‍ය ආයතන ගොඩනැඟුවේ ද රාජපක්ෂවරුන් උදෙසාය. ජනවාරි 08 රාජපක්ෂවරුන්ට බලය අහිමි වුණ විට සසල වුණ කළු මාධ්‍ය ආයතන අද බලසම්පන්නය. ඊට ප්‍රධාන හේතුව යහ පාලනයේ ඇතැම් නායකයන් කළු මාධ්‍ය ආයතනවල හිමිකරුවන්ට වන්දනාමාන කිරීමය. කළු මාධ්‍ය ආයතනයක හිමිකරුවෙකු ගෝඨාභය රාජපක්ෂගේ රැකවරණය වෙනුවෙන් අගමැතිවරයා, නීතිය හා සාමය භාර අමාත්‍යවරයා ග්‍රහණයට නතු කරගෙන සාර්ථක සේවාවක් මේ වන විට සිදු කර තිබේ. අද ඔවුන් සංඝයා වහන්සේලා අවුස්සන්නේ ජනාධිපතිවරයා ග්‍රහණයට නතු කර ගැනීමටය. එහි අරමුණ වී තිබෙන්නේ අගමැතිවරයාගේ පමණක් නොව ජනාධිපතිවරයාගේ ද අනුග්‍රහය ඳීරැකවරණය අපරාධකරුවන්ට හා දූෂිතයන්ට ලබා ගැනීම බව කිව යුතු නැත.

පසුගිය සමයේ සිදු කළ සාපරාධී මනුෂ්‍ය ඝාතනවලට හිටපු ආරක්ෂක ලේකම්වරයාට මේ වන විට ප්‍රබලව චෝදනා එල්ල වී ඇත. බලසම්පන්න භූමිකාවක් රඟ පෑ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුමක් නොමැතිව යම් අපරාධයක් සිදු වී නම්, ඔහු ඒවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට වග බලා ගත යුතුව තිබුණි. එවැනි දෙයක් ඔහු අතින් සිදු වුණේ නැත. යහ පාලන ආණ්ඩුව බලයට පත් වන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධ යයි සාධාරණ සැකයක් තිබෙන සියලු අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නීතිය නිසි අන්දමට ක්‍රියාත්මක කරන බවට ලෝකයාටම ඇසෙන්නට ප්‍රතිඥා ලබා දෙමිනි. එහෙත් අද වන විට ඒ ප්‍රතිඥා වළ දමමින් සිටින තත්වයකි විiමාන වන්නේ.

යහ පාලන ආණ්ඩුව බලයට පත් වුණ පසුව රාජපක්ෂවරුන්ගේ බලපෑම හේතුවෙන් වළ දමා තිබුණ භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධ නඩුව විභාග කෙරුණි. රාජ්‍ය බලය අවභාවිත කරමින් නිදහස් කර සිටි වරදකරුවන්ට දඬුවම් නියම කෙරුණි. ඒත් යහ පාලන ආණ්ඩුව දුමින්ද සිල්වා හිරගත වීම, බන්ධනාගාර රෝහලේ ජීවත්වීම බවට දැනුවත්වම පරිවර්තනය කර තිබේ. එපමණක් නොව, මේ නඩු විභාගයෙන් අනතුරුව ‘ඉරුදින’ නම් වූ පුවත් පතේ ලිපි පෙළක් පළ වෙන්නට පටන් ගත්තේය. මේ ලිපි පෙළ නතර කරන ලෙසට එල්ල වූ බලපෑම් නොතැකීම හේතුවෙන් ඒ පුවත්පතේ කතුවරයා ඇතුළු කර්තෘ මණ්ඩලයට රැකියා අහිමි විය. මේ ක්‍රියාදාමය අතිසරල වූවක් නොවිණි. මේ වූ කලී දුමින්ද සිල්වා නිදහස් කර ගැනීමේ ව්‍යායාමයේම එක් පියවරකි.

බන්ධනාගාර රෝහලේ ඇතැම් වෛiවරුන්ට සහ ඇතැම් නිලධාරීන්ට කළු මාධ්‍ය ආයතනයක හිමිකරු විසින් මේ වන විට ගෙවා තිබෙන මුදල් ප්‍රමාණය සහ ඉදිරියටත් ගෙවන්නට අපේක්ෂා කරන මුදල් ප්‍රමාණය කෙනෙකුට හිතා ගන්නටවත් බැරි තරම්ය. දුමින්ද සිල්වාට ලබා දී තිබෙන නඩු තීන්දුව අධිකරණ ක්‍රියාමාර්ගයක් තුළින්ම නිශේධනය කිරීමට අවශ්‍ය ක්‍රියාදාමය මේ වන විට සාර්ථක ලෙස ඉදිරියට ගමන් කර තිබෙන බව ද රහසක් නොවේ. මේ කාරණය ගැන අවදියෙන් සිටින පුද්ගලයන් සොයා දැනගෙන තිබෙන වැදගත් තොරතුරු විශද කරන්නේ අන් කිසිවක් නොව අපේ නායකයන්ගේ නිරුවත බව කනගාටුවෙන් වුව පැවසිය යුතුව තිබේ.

දුමින්ද සිල්වා හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ රැකවරණය ඉහළින්ම ලැබූ බව නොරහසකි. ජයවර්ධනපුර රෝහලේ සිට හෙලිකොප්ටරයකින් ගුවන් තොටුපළට ගෙන ගොස් සිංගප්පූරුවට ඔහු රැගෙන ගිය අන්දම, පෙරළා දිවයිනට පැමිණි පසුව නව ලෝක රෝහලේ සිට නිදහස් වීම දක්වා රාජ්‍ය බලය පරිහරණය කෙරුණු අන්දම දක්වා සියල්ල හෙළි කරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ළබැඳියාවේ මහිමයයි.
දුමින්ද සිල්වාට දඬුවම් නියම වීම බොහෝ දෙනෙකුට සිතා ගන්නට බැරි වු අහඹුවක් වැන්න. අද රාජ්‍ය බලය ඉවහල් කර ගැනීමට තමන් සතු මාධ්‍ය බලය ඉවහල් කර ගන්නේ ඉදිරියේ දී තමන්ට අවශ්‍ය තීන්දුව ලබා ගැනීමට බවය පෙනී යන්නේ. මෙහිදී පැහැදිලිව පෙනී යන කාරණාව වන්නේ ධනයට වඩා මාධ්‍ය බලය නායකයන් සුරුට්ටු කිරීමට සමත් තත්වයක් අද තිබෙන බවයි. කළු මාධ්‍යවලට රටේ නීතිය හැසිරවීමට හැකි තත්වයකට සංඝයා වහන්සේලා ද උඩ ගෙඩි දෙන්නේ නම් රට ගමන් කරන්නේ අශීලාචාරත්වය කරා බව විස්තර කළ යුතු නොවේ.

ජනාධිපති සහ අගමැති

අගමැතිවරයා වැරදි ගණනාවක් සිදු කොට, තවදුරටත් වැරදි කරමින් ඒවා සාධාරණීකරණය නරකම තත්වයකට පත් විය. බැඳුම්කර වංචාව සමඟින් යහ පාලනයේ රෙදි ගැලවිණි. නීතිය හා සාමය අමාත්‍යාංශය භාර දුන් ඇමති දෙපළම දූෂණ සහ අපරාධ සම්බන්ධයෙන් කටයුතු කර තිබෙන අන්දම හා කටයුතු කරන අන්දම අමුතුවෙන් පැවසිය යුතු නැත.

ජනාධිපතිවරයා ජනවාරි 08 ප්‍රතිඥා වෙනුවෙන් දක්වන උනන්දුව සහ කැපවීම ගැන සෑහීමකට පත්වීමට නොහැකිය. සාපරාධී මනුෂ්‍ය ඝාතන සම්බන්ධ පරීක්ෂණ අවසන් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට සේනාධිනායකයා ලෙස, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස, ජනාධිපතිවරයා අසමත් වී සිටින බව නොරහසකි. හමුදා අංශ අදාළ තොරතුරු ලබා නොදී සිටින්නේ කෙසේ ද? හමුදා අංශ පිළිපදින්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් නම් අදාළ අංශ නොපමාව නිවැරදිව තොරතුරු ලබා දිය යුතුය. හමුදා ප්‍රධානීන් නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර නොගන්නේ නම්, ඒ නිලධාරීන් සම්බන්ධව ජනාධිපතිවරයා පියවර ගත යුතුය. එහෙත් ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ නිහඬ පිළිවෙතකි.

බැඳුම්කර වංචාව විමර්ශනය කිරීමට නිසි අන්දමට කොමිෂන් සභාවක් පත් කොට අවශ්‍ය කටයුතු කිරීමට ජනාධිපතිවරයා සමත් වී නම්, ජනාධිපති පදවියට පත් වීම සඳහා ඉවහල් වුණ කාරණා, විශේෂයෙන්ම අපරාධ සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කිරීමේ කටයුත්ත

වෙනුවෙන් සක්‍රීයව මැදිහත් නොවන්නේ මන් ද? අදාළ පුද්ගලයන් නීතිය ඉදිරියට පැමිණවීමට අදාළ අංශවලට සහාය ලබා දීමට අදාළ පියවර ජනාධිපතිවරයා නොගන්නේ මන් ද?
රට තුළ සිදු කෙරුණ අපරාධ සම්බන්ධව ඇතැම් පරීක්ෂණ අවසන් කිරීමට අදාළ ප්‍රධාන බාධාවක් වී තිබෙන්නේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීමට අවසරය නැතිකමය. ඒ අවසරය ලබා දිය යුත්තේ ජනාධිපතිවරයා විසිනි. ජනාධිපතිවරයා ඒ අවසරය ලබා නොදෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කිරීමට ද යන සාධාරණ සැකය දැන් ඉස්මත්තට පැමිණ තිබේ.

ඇමති සාගල සහ පොලිස්පති

පොලිස්පතිවරයා දිනෙන් දින අවුල් සාදා ගන්නා අන්දම ශෝචනීය වේ. විමර්ශන නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණ පැවැත්වීම මොන තරම් අභාග්‍යයක් ද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙස කෝපයෙන් බැලිම පොලිස්පතිවරයාට තරම් නොවේ. පොලිස්පතිවරයා මේ තත්වයට පත් කර තිබෙන්නේ නීතිය හා සාමය භාර අමාත්‍යවරයා බවට තිබෙන්නේ හුදු සැකයක්ම නොවේ. පොලිස්පතිවරයා ගිරේට අහුවුණ පුවක් ගෙඩියක් වැනි යයි සිතේ. නීතිය හා සාමය භාර අමාත්‍යවරයා අගමැතිවරයාගේ අවසරයකින් තොරව හුස්ම ගැනීමවත් නොකරන බව පවසන්නේ එජාපයේ වැදගත් පුද්ගලයන්ය.

සුප්‍රකට නීතිඥයෙකුගේ නිවසේ දී රාත්‍රි කාලයේ හොර රහසේ ගෝඨාභය රාජපක්ෂ මුණගැසීමට ඇමතිවරයෙකු යන්නේ කුමන හේතුවකට දැයි පෙර පාසලක දරුවෙකුට වත් කියා දිය යුතු නැත. ලංකාවේ පොලීසියේ බහුතරයක් ගෝඨාභයගේ පාලනය නොඉවසූ බව පැහැදිලි සත්‍යයකි. සැබවින්ම පොලීසියේ විශාල පිරිසක්, සැබවින්ම සුළු පිරිසක් හැරුණ විට සියල්ලෝම යහ පාලනය වෙනුවෙන් තමන්ගේ දායකත්වය විවිධ අන්දමින් ජනවාරි 08 වෙනිදා ලබා දුන් බව නොරහසකි. අද ඔවුන් සිදුවෙන දේවල් දෙස බලා සිටින්නේ නොහඬා හඬමිනි. කාගේ කාගේත් කෙරුවාවල් විස්තර සහිතව කියන්නට දන්නේ අන් කවුරුවත් නොව පොලිසියේ විවිධ තලවල පුද්ගලයන්ය.

ගාමිණී සෙනරත් අත් අඩංගුවට නොගැනීම, සඟවා ගෙන සිටීම හා සම්බන්ධ සත්‍යය හෙළි විය. එහි වරද වසා ගැනීමට පොලිස්පතිවරයා අදාළ නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් සිදු කළේය. එය අන්තිම අශෝබන කටයුත්තකි. ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමට නීතිපතිවරයාගෙන් අවසරය ලැබුණ විට අදාළ නිලධාරීන් කළේ පොලිස්පතිවරයා විමසීම වන්නට ඇත. පොලිස්පතිවරයාගේ නිල ඇඳුම බුරුල්වීමට එය බලපෑවාට සැකයක් නැත. තමාගේ නිදහස වෙනුවෙන් පොලිස්පතිවරයා ජනාධිපතිවරයා වෙත ප්‍රශ්නය ඉදිරිපත් කරන්නට ඇත. සිදු වෙන්නට ඇත්තේ එය නම්, තත්වය කනගාටුදායකය. නීතිය ක්‍රියාත්මක කිරීමට නීතියෙන් බලය පැවරී තිබෙන ආයතන දේශපාලනීකරණය වන්නේ මොන තරම් නිවට අන්දමින් ද යන්න මෙයින් සනාථ වන්නේය. ආණ්ඩුකරණයට වරමක් නැති දාට අවශ්‍ය රැකවරණය ගැන හිතා කවරෙකු හෝ අද තමන් සතු බලය අවභාවිත කරන්නේ නම් සොබා දහම නිසි දඬුවම් ලබා දෙනු ඇත.

රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ලංකාවේ පොලිසියට හැකිය. ඕනැම අපරාධයක් සම්බන්ධ විමර්ශන සිදු කොට වැරදිකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීිසියට හැකිය. ඒ බව පොලීසිය කාලයක් තිස්සේ සනාථ කර තිබේ. ලංකාවේ පොලීිසියේ තත්වය බාල්දු කළේ දේශපාලනඥයන්ය. උසස් පොලිස් නිලධාරියෙකු පසු ගිය දිනෙක මා සමඟ පැවසූ කරුණක් මෙසේය.

“ඉස්සර අපට බලපෑම් කළේ පාර්ලිමේන්තු නියෝජිතයො විතරයි. ඊට පස්සේ පළාත් සභාවල, ප්‍රාදේශීය සභාවල නියෝජිතයො බලපෑම් කරන්න පටන් ගත්තා. පොලීසියේ අභිමානය නැති කළේ ඒ උදවියයි. මොකද පළාත් පාලන ආයතනවලට එන්න එන්නම වැඩියෙන් ආවෙ නූගත් උදවිය වගේම වැරදි විදිහට හරි හම්බ කළ උදවියයි. ඒ අය නීතිය තුට්ටුවකට මායිම් නොකළ උදවිය. දැන් ඉස්සරහට ඇති වෙන්න යන්නෙ හරි භයානක තත්වයක්. පළාත් පාලන නියෝජිතයො දෙගුණයකටත් වඩා වැඩි වෙනවා. ඒ අයගෙ තත්වය අපට හිතා ගන්න පුළුවන්. මේ හුඟ දෙනෙකුත් පොලීසිය මස් කට්ටක් විදිහට සලකන බවත් අපි දන්නවා. රටේ නීතිය හා සාමය බල්ලට යනවා ඒකෙ නං දෙකක් නෑ.”

මහජනතාවගේ දිවි පෙවතට අදාළ ආරක්ෂාව ලබා දීමේ වගකීම තිබෙන්නේ පොලීසියටයි. ගෝඨාභය රාජපක්ෂ එය ඉතා අවලස්සණ අන්දමට විනාශ කර දැමීය. ඒ නිසා පොලීසියේ විවිධ තලවල නිලධාරීන්ට පොලීසියේ තත්වය රැක ගැනීමේ අවංක උවමනාවක් තිබුණි. මේ තත්වය ගැන සාගල රත්නායක ඇමතිවරයාට නම් නිසි අවබෝධයක් නැති බව පැහැදිලිය. පොලිස්පතිවරයාට තිබිය යුතුය. එසේ තිබිය දීත් නිතියට අනුව කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව විමර්ශන සිදු කරමින් පීඩා කිරීමට පොලිස්පතිවරයා උත්සුක වීම සාධාරණ නැත. මෙහි ප්‍රතිවිපාක පොලිස්පතිවරයාට අත් විඳින්නට සිදු වෙනු ඇත. එවිට ඇමතිලා හෝ අගමැතිලා පොලිස්පතිවරයාගේ රැකවරණයට නැත. පොලිස්පතිවරයාට ද ඉතිරි වන්නේ නීතියේ පිළිසරණ පමණක් බව සිහි බුද්ධියෙන් වටහා ගැනීම වැදගත් වන්නේය.

ගෝඨාභය බලසම්පන්න වන රටක

ජනාධිපතිවරයා ශ්‍රීලනිපයේ නිල සභාපතිවරයා වුණත් මහින්ද රාජපක්ෂ දියත් කර තිබෙන බල අරගලය තුළ උද්ගතව තිබෙන්නේ අවලස්සණ තත්වයකි. මේ විපරීත තත්වය ඇතිවීමට අදාළ හේතු සාධක සම්බන්ධයෙන් වගකීම භාරගත යුත්තේ ජනාධිපතිවරයා මය. ‘මහින්ද සමඟ නැගිටිමු’ මැයෙන් නුගේගොඩ දී පටන් ගත් රැළිය තමාට එල්ල කළ අභියෝගයක් ලෙස ජනාධිපතිවරයා නිසි අන්දමින් වටහා නොගත්තේය. අවසන මැතිවරණය ආසන්න වන විට ජනාධිපතිවරයා බිත්තියට හේත්තු වන්නේය. ඉන් පසුව අද දක්වා කාලය තුළ පක්ෂයේ නායකයා ලෙස ගත යුතුව තිබුණ නිර්භීත තීන්දු තීරණ නොගැනීම හේතුවෙන් ජනාධිපතිවරයා කිසියම් අර්බුදයකට මැදි වී සිටින බව පෙනේ. මේ පසුබිමේ දී නීතිගරුක පුරවැසියන් අන්දමන්දව සිටින්නේ පසු ගිය මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂට නාම යෝජනා ලබා දීමෙන් ඇති කළ තත්වයට නොදෙවෙනි තත්වයක් ඇති කරාවි ද යන අතීරණය අබිමුවය. යම් ලෙසකින් ශ්‍රීලනිපය රැක ගැනීමේ ව්‍යායාමයේ ප්‍රතිඵලයක් ලෙස ගෝඨාභයට රැකවරණය තවදුරටත් ලැබුණොත් ලංකාව සුළු ජාතිකයන්ට පමණක් නොව කිසිම නීතිගරුක පුරවැසියෙකුට ජීවත්වීමට සුදුසු රටක් නොවන බව නම් පැහැදිලිය. යළි මර බිය රජයන රටක් අපට උරුම වේවි ද? මේ ප්‍රශ්නය අබිමුව නීතිගරුක පුරවැසියන් කළ යුත්තේ කුමක් ද? මේ වූ කලී නොපමවා විසඳා ගත යුතු ප්‍රශ්නය වී තිබේ.

මහාචාර්ය සරත් විජේසූරිය