යහපාලකයන් ගොඩදැමූ මිනී තැන තැන ඝාතකයන්ට රජමඟුල්

පසුගිය 2015 ජනවාරි 08 වැනිදා මෙරටේ මිනිසුන් සිරිසේන මහතා ජනාධිපති පුටුවේ හිඳවන්නේ නිදහස් ලංකාවට එතරම්ම හුරුව නොතිබූ ‘යහපාලනය’ යන වචනයත් සමාජය මත වගාදිගා කරමින්ය.

ඒ අප දන්නා කාලයක ලංකාව තුළ යහපාලනයක් නොතිබූ බැවින්ය. අනෙක් පැත්තෙන් ඒකාධිපති යමපාලනයක් 2005 සිට 2015 දක්වා මේ රටේ තිබුණු බැවින්ය. හිටපු ජනාධිපති මහින්ද බලයෙන් පහකිරීම සඳහා වර්තමාන ජනාධිපතිවරයාගේ ඡන්ද සටනේ මුලින්ම කියවුණේද යහපාලනය පිළිබඳ සටන් වැකිය. එලෙස යහපාලනයක් ගොඩනැගීම සඳහා පසුගිය යමපාලනය තුළ වැරදි කළවුන්ට දඬුවම් දීමද යුක්තිය අහිමිවූවන්ට යුක්තියද අවශ්‍ය විය. පැරණි පාලනයන් තුළ දූෂිතයන් සහ මිනීමරුවන් කළ වැරදිවලට දඬුවම් නොදී යහපාලනයක් ගොඩනගන්නේ කෙසේදැයි මුලසිටම විචාරකයන් ප්‍රශ්න කළ අතර ඡන්ද සටන තුළ නිරන්තරව නායකයෝ කීවෝ දඬුවම් වහා පමුණුවන බවය. එහෙත් දැන් සිද්ධවී ඇත්තේ කුමක්ද? යහපාලනයක් ගොඩනගන්නට පැමිණි පාලකයන් බැඳුම්කර වංචාව වැනි විශාල දූෂණවල නිරතවෙමින් යහපාලනය යන වචනය මෙන්ම ඒ වචනයේ අර්ථයෙන් යුතු පාලනයක් බිහිකිරීමට ජනතාව දුන් වරමද අපයෝජනය කිරීමය. අනෙක් පැත්තෙන් ඝාතනයවූවන්ට යුක්තිය වෙනුවට ඝාතකයන්ට විමුක්තිය හිමිකර දී ඇත. ඒ එක් එක් නායකයන්ගේ ඩීල් දේශපාලනය මතින්ය. මේ නිසා යහපාලනය පැමිණි විගස යමපාලනය විසින් ඝාතනය කරන ලද මිනිසුන්ගේ මිනී ගොඩගත්තද දැන් ඒවා තැන තැන කුණුවී ගඳ ගසමින් තිබීම අප සමස්ත සමාජයේම කරුමයමය. මෙලෙස ගොඩගත් මිනිසුන් පිළිබඳව නැවත මතක් කිරීමක් මේ ලිපියේ අරමුණය.

ප්‍රගීත් එක්නැළිගොඩ

ප්‍රගීත් එක්නැළිගොඩ දෙවන වරට පැහැරගන්නේ 2010.01.24 වැනි දින රාත්‍රියේ දීය. ඉන්පසුව ඔහු අද වෙන තුරු ආගිය අතක් නැත. මේ අතුරුදහන් වීම පිළිබඳව මුල්ම බී වාර්තාව හෝමාගම පොලීසිය අධිකරණයට ඉදිරිපත් කරන්නේ 2010.01.26 වැනි දිනය. ඉන්පසුව යහපාලනය පැමිණීමට ප්‍රථමව 2015.03.26 දින අවසන් වරට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර ඇත. මේ අතරතුර කාලයේ හබයාස් කෝපුස් නඩුවක්ද විභාගයට ගත්තේය. ප්‍රගීත්ගේ බිරිඳ සන්ධ්‍යාගේ නොනිමි අරගලය නිසාම මේ කාලය තුළ ප්‍රගීත්ගේ භෞතික ශරීරය සමාජයෙන් අතුරුදහන් වූවද ඔහු පිළිබඳව වූ මතකය සමාජය මතින් අතුරුදහන් කරන්නට නොහැකි විය. ඉන්පසුව යහපාලනය පැමිණියේය. පරීක්ෂණ නැවත සක්‍රියව ඉදිරියට යන්නට වූ අතර එමගින් ප්‍රගීත් අතුරුදන් කළ කතාව මුල සිට අගට හෙළිදරව් විය. සැකකරුවෝ අත්අඩංගුවට ගැනුණාහ. ප්‍රගීත් පැහැරගෙන ගොස් ගිරිතලේ රඳවා සිටි බවත් ඉන්පසුව අක්කරෙයිපත්තුව බුද්ධි කඳවුරට රැගෙන ගොස් ඇති බවත් දැන් තහවුරු වී හමාරය. දැන් තිබෙන්නේ ඉන්පසුව මේ කණ්ඩායම ප්‍රගීත්ට කළේ කුමද්ද යන්න සොයාගැනීමය. මේ අනුව දැන් මේ පරීක්ෂණය තිබෙන්නේ අවසාන අඩියේය. එහෙත් තවමත් කවරෙකු හමුදාපති පුටුවට පැමිණියත් හමුදාවෙන් ලැබිය යුතු සහාය පරීක්‍ෂණය සඳහා නොලැබෙයි. ඒ අනුව තවමත් රහස් පොලීසිය ඉල්ලන තොරතුරු හමුදාව දෙන්නේ නැත. එම තත්ත්වය තුළ පරීක්ෂණවල ඉදිරිය අවිනිශ්චිතය.

නාවික හමුදා ඝාතන

2008 සැප්තැම්බර් 17 දින කොළඹ දෙහිවලදී දමිළ සිසුන් 5 දෙනෙක් අතුරුදහන් වෙති. ඉන්පසුව ඔවුන්ගේ මාපියන්ට තොරතුරු ලැබෙන්නේ මේ සිසුන් ත්‍රිකුණාමලය නාවික කඳවුරේ ගන්සයිඞ් නම් භූගත කඳවුර තුළ රඳවා සිටින බවය. ඉන්පසුව කිසිදු තොරතුරක් නැත. තත්ත්වය මෙලෙස තිබියදී 2009 වසරේ මැයි 28 දින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට තමන්ගේ පුද්ගලික සහායක ලුතිනන් කමාන්ඩර් මුණසිංහ ආරච්චිගේ දොන් නිලන්ත සම්පත් මුණසිංහට එරෙහිව පැමිණිල්ලක් කර ඇත. ඒ අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ වෙන අතර හෙළිදරව් වෙන තොරතුරු බියකරුය. පසුගිය පාලකයෝ මේවා උඩට මතුවන්නට ඉඩ හදන්නේ නැත. එහෙත් යහපාලනය පැමිණි පසු දැන් මේ සිද්ධිය ගැන පරීක්ෂණද බොහෝ දුරක් ගොසිනි. දැන් හෙළිදරව් වී තිබෙන්නේ ගන්සයිඞ්හි වධකඳවුරක් තිබුණු බවය. එහි රඳවා සිටි සිංහල, දෙමළ, මුස්ලිම් ජනවර්ග තුනටම අයිති අහිංසකයන් 11 දෙනෙකු වධ පමුණුවා මරා ඇති බවය. ඒ ඊට ප්‍රථම ඔවුන් නිදහස් කරන්න යැයි කප්පම්ද ලබාගෙනය. මෙම සිද්ධිය මුල සිටම එවක නාවික හමුදාපතිවරයා දැන සිට ඇති බව රහස් පොලීසිය අධිකරණයට වාර්තා කර ඇත. ඒ අනුව මේ පරීක්ෂණ තවදුර යන්නේ නම් හිටපු හමුදාපති වසන්ත කරන්නාගොඩට වෙන්නේද වැලිකඩ ඉස්පිරිතාලයට යන්නටය. තත්ත්වය මෙලෙස තිබියදී සින්නයියා මහතා නාවික හමුදාවේ මුල් පුටුවට පැමිණෙන අතර ඔහු මේ ගන්සයිඞ් ඝාතන පිළිබඳව ප්‍රබල ප්‍රකාශයක් ද රහස් පොලීසියට ලබා දී ඇත. ඒ අනුව තවත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇත. එහෙත් සිදුවන්නේ කුමක්ද? ඝාතන සැකකරුවන්ගේ යටිකූට්ටු වැඩ නිසා ඔහුට ධුරයේ රැඳෙන්නට වෙන්නේ මාස දෙකක් පමණය. මේ තත්ත්වය තුළ මේ පරීක්ෂණවල ඉදිරිය දැන් තිබෙන්නේ අවිනිශ්චිත තැනකය.

ලසන්ත වික්‍රමතුංග

සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන්නේ 2009 ජනවාරි අට වැනිදාය. ඒ දෙහිවලට ආසන්න අත්තිඩියේදීය. යහපාලනය පැමිණි පසු මේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ ආරම්භ වූ අතර ඒ පරීක්ෂණවලට අනුව මේ ඝාතනය සිදුකර ඇත්තේ ටි්‍රපෝලි බුද්ධි කඳවුරේ සේවය කළ හමුදා කණ්ඩායමක්ය. දැනට හෙළිදරව් වී ඇති තොරතුරුවලට අනුව මෙය සැලසුම් සහගත ඝාතනයක්ය. මේ ඝාතනය සිද්ධ කළාට පරීක්ෂණ නොමඟ යැවීම සදහා දෙහිවල ඇළට ගෙනත් දමා තිබූ ටේ්‍රල් වර්ගයේ බයිසිකලය ලබාගැනීම සඳහා අසරණ දෙමළ ජාතිකයන් දෙදෙනෙක් ද මරාදමා ඇත. අනෙක් පැත්තෙන් මේ ඝාතනයට කිසිදු සම්බන්ධයක් නැතිව නුවරඑළියේදී අත්අඩංගුවට ගත් ජේසුදාසන් නමැති අහිංසකයා නොකළ වරදකට අවුරුදු ගාණක් බන්ධනාගාරගතව සිට අවසානයේ අකාලයේම මියගියේය. එවකදී මෙම පොලිස් පරීක්ෂණ සිදුවූ ආකාරය පිළිබඳව මෙන්ම ඝාතනය වීමට ප්‍රථම ලසන්ත වික්‍රමතුංග භාවිත කළායැයි කියන දින පොතට සිද්ධවී තිබෙන දේවල් පිළිබඳව චෝදනා එල්ලවන්නේ එවක පොලීසියේ ඉහළින්ම සිටි නිලධාරින්ටය. ලසන්ත ඝාතනය කළ අකාරය එහි සැලසුම ඊට පසුව පොලීසිය ක්‍රියාත්මක වූ ආකාරය ආදි තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී ඇති බව දැනගන්නට ලැබුණත් මෙම ඝාතනයේ වගකීමත් හමුදාවේ බුද්ධි අංශ වෙතම බැරවීම සහ ලසන්තගේ ඝාතනය මිග් ගනුදෙනුව හෙළිදරව් කිරීම නිසා සිදුවූවක් බවට ඔහුගේ පවුලේ අය විසින් සැක කිරීම, රහස් පොලිස් පරීක්ෂණද ඒ ඔස්සේ සිදුවීම වැනි තත්ත්ව නිසා මේ පරීක්ෂණද ඉදිරියට සාර්ථකව ක්‍රියාත්මක වෙයි දැයි සැකසහිත බව බොහෝ දෙනෙකුගේ මතයයි.

නඩරාජා රවිරාජ්

2006 නොවැම්බර් මස 09 වැනිදා හෝ 10 වැනිදා අතර කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරී ලොකුවැල්ල මුරගේ ලක්ෂ්මන් වෙඩි තබා ඝාතනය කිරීම, ඒ සඳහා අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම ඇතුළු අධිචෝදනා 05ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 06 දෙනකුට එරෙහිව මහාධිකරණය හමුවෙහි නඩු පැවරුවේය. ඒ මේ ඝාතනය පිළිබඳව රහස් පොලිස් පරීක්ෂණ අවසන් වන්නට ප්‍රථමවය. විදේශගතව සිටින සැකකරුවා මෙරටට ගෙන්වා ගන්නට කිසිදු උත්සාහයක් ගන්නේ නැතුවය. අපි එවකදී මේ පිළිබඳව ලීවෙමු. මේ ඝාතන පරීක්ෂණ කැලේ යැවීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නාවික හමුදාවේ එකට සිට ජයටම වැඩ කරන නිලධාරියෙකු ගැනද අපි එහිදී සඳහන් කළෙමු. මේ කූට සැලසුම් සියල්ලේ අවසාන ප්‍රතිඵලය ලෙස නඩරාජා රවිරාජ් ඝාතනයට අදාළ චූදිතයෝ නිදහස් වූහ. ඔවුන්ගෙන් සමහරකු මේ වනවිට රට හැරගොස් ඇති බවත් කියැවෙයි. කෙලෙසක හෝ දැන් අපට කියන්නට වන්නේ නඩරාජා රවිරාජ් සියදිවි හානිකරගෙන වගේ කතාවක්ය. කෙලෙසක හෝ දැන් මේ නඩුව නැවත විභාගයට ගනිමින් තිබෙන්නේය. එහෙත් අදාළ පරීක්ෂණ නැවතුණු තැනමය. මේ ඝාතනයට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ ද යන අතක් පිළිබඳව කියන්නට දෙයක් නැත. මේ ඝාතනය පිළිබඳව ප්‍රධාන චෝදනාව යන්නේ කරුණා පාර්ශ්වයටය. නඩරාජා රවිරාජ් ඝාතනයටද ඔවුන් හවුල් බව හෙළිදරව් වී ඇත. අනෙක් පැත්තෙන් මේ ඝාතනයන් සිදුකිරීම සඳහා අවශ්‍ය තුවක්කු ගිරිතලේ සන්නද්ධ බුද්ධි බලකා හිටපු ලොක්කා විසින් ලබාදී ඇති බව එක්නැළිගොඩ සිද්ධියට අදාළව රහස් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. එහෙත් එම කරුණු වාර්තා කිරීම් ඊට එහාට ගොස් නැත. මේ නිසා මේ සිද්ධිවලට අදාළ සැකකරුවන් සිටින්නේ මඟුල්කමින්ය.

ධර්මරත්නම් සිවරාම්

2005 අප්‍රේල් 28 වැනි දින බම්බලපිටිය පොලීසිය ආසන්නයේදී පැහැරගෙන ගොස් මරා දමන ලද දෙමළ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් ඝාතකයන් සහ එයට අණ දුන් පුද්ගලයන්ද තවමත් සිටින්නේ නිදැල්ලේය. මෙම ඝාතනය පිළිබඳ පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මුලින් සිදුකරන ලද අතර 2005 ජූනි 13 සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තත් එවකදී ඉහළින් ආ නියෝග නිසා ඔවුන් නිදහස් කළ බව දැනගන්නට ඇත. මුලදී මෙම පරීක්ෂණද සාර්ථකව ඉදිරියට ගොස් පසුව ලොප් වී ඇත. යහපාලනය තුළදී මේ ඝාතනය පිළිබඳවද පරීක්ෂණ කෙරෙන බවට වූ ආරංචි රහස් පොලීසිය දෙසින් ආවත් තවමත් ප්‍රගතියක් දකින්නට නැත. මේ ඝාතනය පිටුපසද එල්ටීටීඊ සංවිධානයෙන් වෙන්වූ එවකදී රජය සමඟ එකට වැඩ කළ සන්නද්ධ කණ්ඩායමක් සිටින බවට අනාවරණය වී ඇති බවද දැනගන්නට ලැබෙන්නේය.

වසීම් තාජුඩීන්

හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට සහ එම සිද්ධියට අදාළ පොලිස් පරීක්ෂණ පිළිබඳව පසුගිය කාලයේ අපි බොහෝ තොරතුරු වාර්තා කළෙමු. එවකදී මෙය රිය අනතුරක්ය. යහපාලනය පැමිණි පසු යළිත් වටයකින් ආරම්භ වූ පරීක්ෂණවල නිගමනය වූවේ මෙය සැලසුමකට අනුව සිද්ධ වූ ඝාතනයක් බවය. ඒ අනුව මේ ඝාතනය රිය අනතුරක් බවට පෙරළුෑ නාටකය අධ්‍යක්ෂණය කළ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා සහ කොළඹ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අත්අඩංගුවට ගන්නේ පළමු සහ දෙවන සැකකරුවන් ලෙසය. තාජුදීන් ගැන අධිකරණ වෛද්‍ය පරීක්ෂණය මෙහෙයවූ අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකර මේ ඝාතන සිද්ධියට සැකකරුවෙකු වුවත් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වා ගැනීමට නොයෙකුත් උත්සාහයන් ඔහු ගන්නවා පෙනුණි. එහෙත් දැන් ඔහු මේ සිද්ධියේ තුන්වන සැකකරුය. ඔහුට දැන් අපේක්ෂිත ඇප ලැබී ඇත. ඔහුට විරුද්ධව පොලීසිය දෙසින් ඝාතන කුමන්ත්‍රණ චෝදනාවද අධිකරණයේදී එල්ල නොවුණි. එනිසා ඔහුට ලේසියෙන්ම ඇප ලැබුණු අතර එය තාජුඩීන්ගේ පාර්ශ්වයේ කණස්සල්ලට හේතුවී ඇත. ඔවුන් කියන්නේ තාජුඩීන්ට යුක්තිය ඉටුවීම දැන්නම් සැකසහිත බවය. ඒ මේ පරීක්ෂණයේ වර්තමානයයි. මීට අමතරව ලලිත් කූගන් සිද්ධියද නිදහස් අධ්‍යාපනය සුරකින ලෙස ආණ්ඩුවට බලකරමින් පේරාදෙණියේ සිට කොළඹට පැමිණි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ පාගමනට අවශ්‍ය අත්පත්‍රිකා ගෙන ඒමට යමින් සිටියදී රිය අනතුරකට ලක්ව මියගිය ජානක බණ්ඩාර ඒකනායක සහ සිසිත් ප්‍රියංකරගේ මරණයන්ට අදාළ පරීක්ෂණ පිළිබඳවද මේ යටතේ කතාකළ හැකිය. ඊට අමතරව රාජපක්ෂ යුගයේදී මෙලෙස ඝාතනය හෝ අතුරුදහන් කරන ලද මිනිස් ජීවිත සංඛ්‍යාව කෙතරම්ද? එයින් කීයක් සඳහා දැනට පරීක්ෂණ සිදුවන්නේද? එම පරීක්ෂණ යන්නේ කුමන දිසාවටද? සෙවිය යුතුය. දැනට පෙනෙන දෙය නම් එතරම් සුබ නැත. යුක්තිය ඉටුවීම තවදුරටත් ප්‍රමාදවෙමින් තිබෙන්නේය. ඊට ප්‍රතිපක්ෂව ඝාතකයෝ කරණම් ගසමින් රජ මඟුල් නටමින් සිටිති. මේ මඟුල් නැටීම කියන්නේ ආණ්ඩුව මේ පරීක්ෂණ යටගැසීම ස්ථිරයි කියා ඔවුන් සිතන බවද …?

කේ. සංජීව – රාවය