ඊ නිව්ස් වාරණය ගැන උත්තර දීමට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිපති පසුපස: ‘වාරණය ඉවත් නොකළොත් අපි අමාරුවේ‘ -ජනාධිපති ලේකම් මෛත්‍රීට දන්වයි

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.14, පෙ.ව.11.30) ලංකා ඊ නිව්ස් වෙබ් අඩවි විකාශනය ශ්‍රී ලංකාව තුල අවහිර කිරීම යම්කිසි අධිකරණ නියෝගයක් මත සිදු කළේ ද? නැත්නම් වෙනත් ආයතනයක හෝ පුද්ගල උපදෙස් මත සිදු කළේ ද? එසේ සිදු කළේ නම් ඒ කුමන නීතියක් යටතේ ද? සහ කුමන හේතුවක් මත සිදු කළේ ද ? යන ප්‍රශ්නාවලියට පිළිතුරු ඉල්ලා ලංකා ඊ නිව්ස් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා විසින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා වෙත පසුගිය 9 වෙනිදා යවන ලද ලිපියට මේ දක්වා කිසිදු පිළිතුරක් ලැබී නැත.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වන අන්දමට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් එකී ලිපිය සලකා ඇත්තේ තමා වෙත එවන ලද එන්තරවාසියක් ලෙසය. ඒ අනුව ඔහු එයට පිළිතුරු දීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් පතා නීතිපති කාර්යාලය වෙත යවා ඇත. එනම් උත්තරයක් දීම රබර් කර තිබේ.

මෙසේ පිළිතුරු දීම රබර් කර ඇත්තේ අන් කිසිදු හේතුවක් නිසා නොව මෙම නීති විරෝධී වාරණ නියෝගයේ නිර්මාතෘ අන් කිසිවෙක් නොව ජනාධිපතිවරයා වන නිසාය.

කෙසේ වෙතත් අධ්‍යක්ෂ ජෙනරාල් වරයා මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්ගේ උපදෙස් පතා ඇත. අන්තර් ජාල පහසුකම් සපයන්නන් වෙත වාරණ නියෝගය නිකුත් කළ විදුලි සංදේශන නියාමන කොමිසමේ සභාපතිවරයා වන්නේ ද ජනාධිපති ලේකම්වරයාම ය. වාරණ නියෝගය නිකුත් කරද්දී ජනාධිපති ලේකම් රටේ සිටියේ නැත. ඔහු සිටියේ වියානා නුවර ය. ජනාධිපතිවරයා තම නියෝගය ලබා දී ඇත්තේ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වෙතය. ජනාධිපතිගේ නීති විරෝධී නියෝගයෙන් පසුව අත් විඳින්නට වන සන්තෑසියේ බරපතල කම දන්නා පළපුරුදු රාජ්‍ය නිලධාරියෙකු වන ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම්වරයා වාරණය ඉවත් නොකළහොත් රෙදි ගලවා ගෙන ලෝකයාට මුහුණ දීමට සිදුවන බව ජනාධිපතිට දැනුම් දී ඇතැයි ද ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

කෙසේ වෙතත් මාධ්‍ය ඇමැතිවරයා විවිධ තැන්හි පවසා ඇත්තේ තමන් මේ ගැන කිසිවක් නොදන්නා බව නමුත් ඔහුගේ අතිජාත මිත්‍ර මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයාගේ හැසිරීමෙන් ඒ බවක් විද්‍යාමාන නොවේ. මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා තමාට අයත් පුවත් පතකින් සහ වෙබ් අඩවි වලින් ලංකා ඊ නිව්ස් වාරණය සාධාරණය කරමින් සහ කතුවරයාට අවලාද නගමින් ප්‍රවෘත්ති පළ කර තිබිණ. මෙම වාරණය ලන්ඩන්හි වෙසෙන ලංකා ඊ නිව්ස් කතුවරයාට පුද්ගලිකව බලපාන සිද්ධියක් නොවන බවත්, එය රටේ මහජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය මෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා සම්බන්ධ ප්‍රශ්නයක් බවත් තමා හම්බ කරගෙන කන ඇමැතිවරයාටද ඉබේටම මේ නීති විරෝධී ක්‍රියාවට නිල බලයෙන් වග කීමට සිදුවන බවත් තේරුම් ගැනීමට තරම් මොළයක් ඔහුට නොවීම ගැන අන් කිසිවෙකුට වඩා කණගාටු විය යුත්තේ මාධ්‍ය ඇමැතිවරයාම ය.

විදුලි සංදේශන නියාමන කොමිසම නිල වශයෙන් වාරණයක් ගැන මුඛ වසාගෙන සිටියදී මාධ්‍ය ඇමැතිගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා කොමිසමටත් එහා ගොස් කොමිසම වාරණය කිරීමට හේතු දක්වන නීති වගන්තියක් ප්‍රචාරය කර තිබිණ.

ඒ මෙසේය.

විදුලි සංදේශන නියාමන කොමිසමේ 58 වන වගන්තිය කඩ කර ඇත. එනම් “යම් අශිෂ්ඨ, කැරළිකාර, අශ්ලීල, තර්ජනාත්මක හෝ අතිශයින් අප්‍රසන්න ස්වභාවයක පණිවුඩයක්, යම් විදුලි සංදේශ කාර්යාලකදී සම්ප්‍රේශනය කිරීම සඳහා තමා විසින්ම හෝ තම නියෝජිතයෙකු හෝ සේවකයෙකු මගින් ඉදිරිපත් කරන සෑම තැනැත්තෙක්ම ඉන් වරදක් කරන අතර වරදකරු කරනු ලැබූ විට රුපියල් පනස් දහසකට නොවැඩි දඩයකට හෝ මාස 6 කට නොවැඩි කාලයකට හෝ දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගත කරනු ලැබීමට හෝ ඒ දඩය හා බන්ධනාගාර ගත කිරීම යන දඬුවම් දෙකටම හෝ යටත් වන්නේ ය.“ ඉහත වගන්තිය කැඩූ නිසා වාරණය සිදුකළා යැයි මාධ්‍ය ඇමැතිගේ සම්බන්ධීකරණ ලේකම්ගේ ප්‍රවෘත්තියේ සඳහන් ය.

මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයාගේ මොළයේ තරම පැහැදිලි වන්නේ එහි දඬුවම් ද සඳහන් කර තිබීම නිසාය. රජයේ කොමිසමකට දඬුවම් දීමේ අධිකරණ බලතල ලබා දෙන්නට ඇත්තේ සම්බන්ධීකරණ ලේකම්වරයා විය යුතුය. ඔහු තම දැනුමේ තරමට ප්‍රචාරය කළ දෙයින් හොඳ සාක්ෂියක් ලැබී තිබේ. එනම් කොමිසම මෙම නියෝගය ලබා දී ඇත්තේ අධිකරණය නියෝගයක් නොමැතිව නීති විරෝධී ආකාරයෙන්ම බවයි. මන්ද යත් ලංකා ඊ නිව්ස් 58 වෙනි වගන්තිය කඩ කෙළේම වුව කොමිසම යා යුත්තේ ඉහත කී දඬුවම් ලබා දීම සඳහා අධිකරණයට ය. එම වගන්තියේ කොතැනකවත් වාරණයක් ගැන සඳහන් නොවේ.

මේ අතර ලංකාවේ ප්‍රධාන පෙළේ පැරණි රාජ්‍ය නොවන සංවිධානයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඊයේ ලංකා ඊ නිව්ස් වාරණයට එරෙහිව බරපතල ඝනයේ නිවේදනයක් නිකුත් කර තිබිණ. එහි සිංහල පරිවර්තනය පසුව පළ කරනු ලැබෙන අතර ඉංග්‍රීසි පිටපත ලංකා ඊ නිව්ස් ඉංග්‍රීසි සංස්කරණයේ දැක්වේ. http://www.lankaenews.com/news/2410/en

කෙසේ වෙතත් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලංකා ඊ නිව්ස් නීතිඥ මහතාගේ ලිපියට තවමත් පිළිතුරක් ලබා නොදුන්නේ වී නමුත් ඔහුගේ උපදේශකත්වයෙන් තිබෙන ‘රයිට් ටු ලයිෆ්‘ නමැති රාජ්‍ය නොවන සංවිධානය විසින් ලංකා ඊ නිව්ස් වාරණය පිළිකුලින් යුතුව හෙළා දකින බව කියමින් නිවේදනයක් නිකුත් කර තිබිණ.

එහි මෙසේ සඳහන් වේ.

“ශ්‍රී ලංකාවේ ජනවාර්ගික සාමය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අප සමග එක්ව අඛන්ඩව නොබියව පෙනී සිටි ලංකා ඊ නිවුස් වෙබ් අඩිවිය නිල නොවන අන්දමින් වාරණය කර තිබීම පිළිබඳව අපගේ බලවත් අප‍්‍රසාදය පලකරමින් එය පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

තොරතුරු දැනගැනීමේ අයිතිය මුලික අයිතිවාසිකමක් ලෙස ස්ථාපිත කර ඇති මේ මොහොතේ තොරතුරු ලබා ගැනීමේ ප‍්‍රවේශයන් මේ අයුරින් අත්තනෝමතිකව අවහිර කිරීම 2015 ජනවාරි 08 ඇති කළ වෙනස වෙනුවෙන් කැප වූ කිසිවෙකු අනුමත නොකරනු ඇති.

පසුගිය මහින්ද රාජපක්ෂ රෙජීමය යටතේ වාරණයන්, බිය ගැන්වීම්, මරණ තර්ජනයන් මෙන්ම තම කාර්යාලය ගිනිබත් කර දමා තිබිය දීත්, ඉන් නොසැලී සාමය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය 2015 ජනවාරි 08 වෙනස වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් ද සැපයීය.“

source : ලංකා ඊ නිව්ස් වෙබ්අඩවිය