ලංකා ඊ නිවුස් වෙත පිවිසීම අවහිර කිරීම යහපාලන සළුපිළි උනා දැමීමක්.! – ලංකා ගුරු සංගමය

ලංකා ඊ නිව්ස් වෙත පිවිසීම ශ්‍රී ලංකාව තුල අවහිර කිරීම රජයේ යහපාලන සළුපිළි උනා දැමීමක් යැයි ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ගේ අත්සනින් නිකුත් කර ඇති එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

මාධ්‍ය නිදහස තහවුරු කිරීමට පොරොන්දු දෙමින් බලයට පැමිණි රජය පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙන්ම ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට පිවිසීමේ හැකියාව ශ්‍රී ලංකාව තුළ අවහිර කර තිබීම ලංකා ගුරු සංගමය දැඩි පිළිකුළින් යුතුව හෙළා දකී. වත්මන් රජයේ සමහර ක්‍රියාවන් පිළිබඳව සිදුකළ විවේචන හේතුවෙන් මෙම වෙබ් අඩවිය වාරණය කර ඇති බව පැහැදිලි කරුණකි.

රාජපක්‍ෂ රජයේ පැවති මර්දනකාරී, භීෂණකාරී වාතාවරණය පිටුදැක ප‍්‍රජාතන්ත‍්‍රවාදී යහපාලනයක් තහවුරු කිරීමට බලයට පැමිණි වත්මන් රජය විවේචන ඉවසාගත නොහැකිව මෙවැනි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක්‍රියාවල නිරත වීම කනගාටුදායක තත්වයකි. සෑම මාධ්‍ය ආයතනයක්ම තමන් දරණ මතයේ සිට තොරතුරු වාර්තා කිරීම සිදු කරයි. එවැනි විරුද්ධ මත ඉවසීම පිළිගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංගයක් වන අතර විරුද්ධ මත මර්දනයට කටයුතු කිරීම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී භාවිතාවකි.

වර්තමාන රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝණය කිරීමේ පළමු අවස්ථාව මෙය නොවන අතර, පසුගිය කාලයේ දිගින් දිගටම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස කටයුතු කළ රජයේ යහපාලන සළුපිළි උනා දැමූ තවත් එක් අවස්ථාවක් ලෙස මෙම මාධ්‍ය වාරණය පෙන්වා දිය හැකිය.

මේ තත්වයට දැඩි විරෝධය පළ කර සිටින ලංකා ගුරු සංගමය ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය අවහිර කිරීම ඉවත් කර ජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතියත්, මාධ්‍ය නිදහසත් තහවුරු කරන ලෙස බල කර සිටී.

මෙයට

ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්
ලංකා ගුරු සංගමය

ලංකා ඊ නිව්ස් පුවත