ශ්‍රී ලංකාවෙන් අල්ලාගත් මියන්මාර රොහින්ග්‍යා ත්‍රස්තවාදීන්ගේ සත්‍ය කථාව (VIDEO)

මෑත ලංකා ඉතිහාසයේ කිසිදු විදේශිකයෙකුට ලංකාවේ ස්ථිර පුරවැසි බව ලැබී නැත. දෙන්නට නීතියක් ද නැත.

මහ මුහුද මැද බෝට්ටුවක අතරමං වී සිටි මියන්මාර් වැසියන් 30 දෙනෙකු ලංකාවේ නාවික හමුදාව විසින් බේරාගෙන ගොඩබිමට ගෙන එනු ලැබීය. ඔවුන් උතුරුකරයේ කාලයක් රැදී සිට පසුව කොළඹට ගෙන එනු ලැබූවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙනි.

ලංකාවට බුරුමයෙන් මුලින්ම සරණාගතයින් පැමිණියේ 2012 වසරේ ය. ඒ පිරිස 100 කට වැඩිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්වී ඒ පිරිස ඇමරිකාවේ සහ කැනඩාවේ සරණාගත තත්වය ලබාදී ඔවුන් ලංකාවෙන් පිටත් වී ගොස් ජාත්‍යන්තර නීතිය හා පහසුකම් සහිතව නව ජීවිත අරඹා ඇත.

1948 අංක 20 දරණ ‘ආගමික හා විගාමික පනත‘ අනුව ලංකාවේ රජයට කිසිම පුද්ගලයෙකුට ස්ථිර පුරවැසිභාවය හෝ PR යැයි කියන තත්වය ලබාදීමට නීතිමය හැකියාවක් ලංකාවේ නැත. ඒ නිසා මියන්මාර් වැසියන්ට ලංකාවේ පුරවැසි භාවය ලැබීම හිතලුවක් පමණී. ලංකාව, ලෝකයේ ස්ථිර පුරවැසි භාවය ලබාදීමට නීතිමය ප්‍ර‍තිපාදන නොමැති රාජ්‍යයන් කිහිපයකින් එකකි. ඒ නිසාම ලංකාවට ලෝකයේ කිසිදු සරණාගතයෙකු බාර ගැනීමට හැකියාව නැත. බාරගෙන ඇත්තේ ද නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට එවැන්නක් කිරීමට හෝ ඉල්ලා සිටීමට ද හැකියාවක් නැත. ඉල්ලා ද නැත. ආගමන විගමන පාලක විරසේකර මහතා මේ බව සහතික කරයි.

මෙම නීතිය කොරතම් බලවත් ද යන්නේ නම්, ලංකාවේ පුරවැසියෙකු විදේශිය කාන්තාවක් හා විවාහකර ගත්තේ වුව ද, ඇයට, ස්ථිර පුරවැසි බව ලැබෙන්නේ නැත. ඇයට හිමිවන්නේ ද, ‘කාලාථයාගේ විසා බලපත්‍ර‍ය‘ කි.

ලංකාවේ දැන් සිටින මියන්මාර් සරණාගතයින් පිරිස අතර පිරිමි 7 ක්, ගැහුණු 7 ක් හා ඉතිරි පිරිස දරුවන් වෙති. එකතුව 30 කි. එයට අමතරව ලංකාවේ දී එක් දරුවෙකු උපත ලබා ඇත. අඩුම ගානේ ඒ දරුවාට ලංකාවේ පුරවැසි බව ලබාදෙන්නට හෝ නීතියෙන් ඉඩක් නැත! මෙයට අමතරව ‘ව්‍යාජ පාස්පෝට්‘ භාවිත කරමින් පැමිණි 4 දෙනෙකු ද වෙනම මේ පිරිස සමග සිටී. එකතුව 35 කි.

ජාත්‍යන්තර නීතියට අනුව මේ පිරිස රැදී සිටිනේනේ ‘එක්සත් ජාතීන්ගේ රැකවරණය‘ යටතේ ය. ඔවුනට කන්නට බොන්නට අදින්නට දෙන්නේ ද, පුංචි දරුවන්ට සෙල්ලං බඩු, පෑන් පැන්සල් දෙන්නේ ද, ලංකා රජය නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය යි. ඔවුන්ට රැකවරණය දීමට බටහිර රාජ්‍යයන් කිහිපයක් සමග එක්සත් ජාතීන්ගේ සාකච්ඡා සිදුවේ. අද දිනය පුරාම කොළඹ එක්සත් ජාතීන්ගේ පමණක් නොව බටහිර තානාපති කාර්යාල සිදුවන දේ ගැන වාර්තා කරමින් සිටිනවාට සැක නැත. බොහෝ විට මේ 35 දෙනාට ද, මෙයට පෙර 2012 දී සිදු වූ ලෙසම, ඇමරිකාව හා කැනඩාව සරණාගත පහසුකම් සැපයීමට ඉඩ ඇත. එය එසේම වේවා! ඉක්මනින් වේවා!!

මා මේ සටහන තබන්නේ වෙනත් හේතු නිසාය. පළමුවැන්න, අප බෝට්ටුවෙන් එන අසරණයින්ටත් බිය ජාතියකි. දෙවැන්න, ලංකාවේ බංකොලොත් දේශපාලනය ජීවිතය පරදුවට තබා මහ සයුරේ සටන් කර දිවි බේරාගන්නා මිනිසෙකුට හෝ අනුකම්පා නොකරන බංකොලොත් දේශපාලන නරුම රැළකගේ උසිගැන්වීමට අන්ධානුසාරයෙන් ගොදුරුව සිටී. තෙවනුව, අපට රටේ නීතිය හා ව්‍යවහාරය පිළිබද අවබෝධය අල්පය. සරණාගත මංකොල්ලකරුවෙකු වූ විජය ලංකාවට ගොඩ බසින විට 1948 අංක 20 දරණ ‘ආගාමික හා විගාමික පනත‘ තිබුණේ නැත. අවසානාවකි. මිහිදු හිමියන් එන විට තිබුණේ ද නැත. ඛෙදවාචකයකි!

1983 න් පසුව ලාංකිකයින් ලක්ෂ 18 කට වැඩි පිරිසකට බටහිර රාජ්‍යයන් සරණාගත තත්වයන් ලබාදී රැක බලාගෙන ඇත. ඇත්තටම එක්කෝ බටහිරට පිස්සු ය. නැතිනම් අපිට පිස්සු ය.

සිදුවීම් විසින් ‘සමාජය නිරුවත් කරන්නේ‘ ය. මම අද සිදු වූ දෙයට කැමති ඒ නිසාය. අප කුමන ආකාරයෙන් මිනිසුන් පිරිසක් ද යන්න ක්‍රියාවෙන් ඔප්පු කොට අවසන් ය.

රජිත් කීර්ති තෙන්නකෝන්