පවුකාරයාට ගල් ගැසීම හෙවත් රන්ජන් රාමනායකට එරෙහිව නඩු දැමීම

ඉදින් මෙදිනෙන් ඉනික්බිති මෙසිරිලක ගම් නියම්ගම් සිසාරා යුක්තිය රජ වනු ඇත්තේය. ප්‍රත්‍යන්ත ජනපදවාසීන්ගේ ඉච්ජාභංගත්වය ධූරීභූතවනු නිසැකය. ඒ ශ්‍රී ලාංකිකයා නිබද පෙළන ලද තුන්බිය දුරු කිරීමේ ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිකර්මය සොයාගෙන ඇති බැවින්ය. ආකිමිඩීස් පැරද වූ එකී මහරු පිළියමේ ජීවමාන සාක්ෂිකරුවා උදය රොහාන් සිල්වාය. හෙවත් යූ.ආර්.ය. කොස් දෙල් හිඟ විය හැකි වුවද -අපේ රටට සිල්වලා හෝ පෙරේරලා නම් හිඟ විය නොහැක්කේය.

සිල්වා නාමයේ සම්භවය මෙරටේ සිදු වූවක් නොවේ. එහි උපත පෘතුගාලයේය. තම යටත් කොලනි ආණ්ඩු මට්ටු කිරීමේදී පෘතුග්‍රීසීන් ඒවාට යෙදූ නමද සිල්වා වීය. සිල්වා නාමයේ අරුත ”ෆොරස්ට්” ය. එනම් වනාන්තරයයි. සමහර සිල්වලා ලංකාව බැබලුවේය. තවත් සිල්වලා නාමාර්ථයෙන්ම සිටිය යුතුව තිබුනේ වනගතවය. මෙකී සිල්වා කවර තැන නවතීදැයි කීමට තවම කල් වැඩිය.

සිල්වලා කොතෙකුත් සිටියද ඩබ්.ඒ. සිල්වා අප අතර නැතිවීම යහපාලනයේ අඩුවකි.එසේ වූවානම් ඔහු ලියන්නේ ”විජයබා කොල්ලය” නොවේ. ”බැඳුම්කර කොල්ලයි”. අතීත මන්ත්‍රණ සභාවේත් සිල්වලා සිටියෝය. මෙදා ව්‍යවස්ථාදයකයේද නැත්තේ නොවේ. ඉන් එක් සිල්වා කෙනෙක් ශ්‍රී ජයවර්ධනපුර කෝ ට්ටේය. ඔහු කල දවස ගෙවන්නේ වික්ෂෝපයෙනි. ඒ සිල්වලා නොතකන යහපාලනය, රාජපක්ෂලා හා කළුවරේ පෙම් බැඳීම හේතුවෙනි.

පෙරදින කැලණිය රජ කල සිල්වා නම් දුලබ කේවට්ටයෙකි. හේ සිල්වා පරපුරේ ළදරුවාගේ පවා මුහුණේ දැලි ගෑවේය. රජෙකුගේ පඬුරු පාක්කුඩම් උදෙසා යටත් වැසියෙක් ගස් බැන්ද මෙකී සිල්වා දැන් දැන් සොයා ගන්නට නැත. සමහර විටෙක තම අතීත මුතුන් මිත්තන් සොයා පෘතුගාලයට නැවු නගින්නට ඇත. හේ අකලටත් -නොකලටත් පෙර දින ප්‍රතිරාව නැංවූ ප්‍රශස්තීන් දැන් නො ඇසෙන්නේය. තවත් ප්‍රකට සිල්වා යැයි නම් ලද්දෙක් බ්‍රසීලයේ අට වසක් රට කරවීය. කම්කරු නායකයෙක්ව බලයට ආ ඔහු ලුඉස් ඉනැසියෝ ලුලා ඩි සිල්වාය. දූෂණ චෝදනා ලත් ඔහුගේ ලෝකය අඩි අටක අඳුරු කුටියකට සීමා වී ඇත.

සිල්වලාගේ පැටිකිරිය කවරක් වුවද, එදා-මෙදා තුර සිල්වා නාමය දිගන්තයේ පැතිර වූ සදා නොමියෙන මානවකයා අරාය. ඒ පොඩිහිටියන්ගේ සිඟිති මනස කූද්දන අටෝරාශියක් ව්‍යාධීන්ගෙන් පෙළෙන ගිරා පෝතක අරා නොවේ. මනරම් හුක් පහරින් තණනිල්ල පොබ කල අරවින්ද ද සිල්වාය. කවදත් නිහඩ අරා, තම පිත්තට හැකිතාක් කථා කරන්නට ඉඩ දුන්නේය. අපගේ කථානායක සිල්වා එලෙස නිහඩව සිටින්නෙක් නම් නොවේ. හේ නගන හැම වදනකටම මිලක් ඇත්තේය.

නිදුකානන්ගේ තෙවලා දහම් මග පිළිවෙතින් පුරන බැතිමත් උවසුඋවැසියන්ගේ අවිහිංසා මගින් අප ධර්මද්වීපය ඒකාලෝක වී ඇත්තේය. ඒත් නැගී එන අපරාධ රැල්ලේ නිමක් නැත. නිමක් නැති අපරාධ රැල්ල, උගත් මිත්‍රයන් ධනවතුන් කරන්නේය. අපේ රටේ අපරාධකරුවා හිරගෙට යන්නේ කලක් ගත වීය. ඒ රෝම ලන්දේසි නීතියේ අසිරියයි. එකී අසිරිමත් නීතිය, වරෙක කළු කෝට්කාරයා දෙවියෙක් කරන්නේය. තවත් වරෙක එලොවත් -පරලොවත් නැති මුට්ට කාසිකාරයෙක් කරන්නේය.

මීට දශක 8 කට එහා ඉතාලියේ පිහිටි සිසිලිය නම් නගරයකට වැටුණු දෙවැනි ලෝක යුද්ධයේ සෙවනැල්ල පාදක කර ගනිමින් ගිසෙප්පේ ටෝර්නාටෝරේ ලියන ලද මනරම් කතාවක් ඔහුම තිරයට නැගීය. ගැටවරයන්ගේ නැගී එන ප්‍රේමාග්නිය දල්වාලමින් යොවුන් හදවත් එක රැයින් පැහැර ගත් සිහින කුමරිය වූ මොනිකා බෙලුච්චි ලෝකයට රැගෙන ගිය මාහැගි සලරුව වුයේ මෙයයි. මලිනා යැයි නම් ලද මෙකී සලරුවේ රැඟූ ඇගේ භාව භාව ලීලා අභියස වසග වූ කුසල්හාමිලා අතර සිටි ප්‍රකට එකෙක් වූයේ නාකි හම්පඩ නීතිවේදියෙකි. ඇගේ නාරි මාංශය සූරා ගන්නට පෙරුම් පිරූ ඔහු අවසන තම සිතැගි ඉටු කර ගත්තේය. ඒ ඇයගේ දුර්භාග්‍ය සමයේ ඇය වෙනුවෙන් පෙනී සිටි නඩුකරයේ ගාස්තුවට හිලවු වන්නටය. මලිනා හප කළ ජාගර සිතැති කබාකාරයෝ, ලොව හැමදාමත් -හැමතැනමත් සිටින්නේය. නැත්තේ තවු තිසා දෙව්ලොව පමණි. අතලොස්සක් වූ එවන් නිරුවත් වානරයන් අතර යුක්තියේ කන්‍යාවිය හා ප්‍රේම පාශයෙන් බැඳුනු නිවුණු මිනිසුන්ද නැත්තේ නොවේ. අප කොදෙව්වේ ඉපිද, වියත් සභා මැද බැබළුණු ආර්.කේ. ඩබ්. ගුණසේකරයෝ ද එවැන්නෙකි.

මේ අල්ල පනල්ලේ යූ.ආර්. සිල්වානන්ගේ සිංහ නාදයක් ඇසුණි. රන්ජන් රාමනායක නම් මහජන නියෝජිතයා නීතියේ දෙවගන අපයෝජනයට ලක් කරන්නට තැත් කරන්නේලු. මෙරටේ අධිකරණයත්, නීතියේ ගෞරවයත් රැක ගැනීමේ පරම අදිටනින් තම දුක් ගැනවිල්ල අග විනිසුරු සුරතට පත් කෙරුවේලු.

මේ නම් කලකට පසු ඇසුණු නොපැසුණුම ප්‍රකාශය යැයි නොකියා බැරිය. ප්‍රාණය නිරුද්ධ මෘත කලේබර මරදානේ මිහිඳු මාවත අභියසට පැමිණ හතර හිනා නගතොත් පුදුම විය යුතු නැත. මෙරටේ අධිකරණයේ කිසිදා නොනිමෙන සදොස් තැන් අට අනූවක් ඇත්තේය. ශ්‍රී ලාංකීය අධිකරණය විධායකයට යට කරන්නට තැත් දැරූ දා සිට ඊට ගොඩ ඒමක් නැති විය. සරත් නන්ද ලෙස නම් දැරූ තවත් සිල්වා කෙනෙක් මෙරටේ අධිකරණයට මළගම කැන්දුවේය. හෙල්පින් හම්බන්තොට නාමයෙන් තම මිත්‍රත්වයේ දෑත දිගු කරමින් සුමිතුරා රැක ගත් වනචර විලාසය ඔහු පාපෝච්චාරණය කළේය. රන්ජන්ගේ වදනට රොස් පරොස් වූ අප කථානායක සිල්වානන්ගේ හද මෙකී සාහසික පාපෝච්චාරණය හමුවේ එකල කම්පා නොවීය.

තම ආදරබර සැමියා වෙත යුක්තිය ඉල්ලා පැමිණි රූපත් කාන්තාවකගේ පහස උදෙසා විනිස්චයාසනය මත වසුරු පැහැරූ විනිසුරුවරයෙක් සිටි රටක, පුරවැසියෝ අප වෙමු. රුසියාවේ සාර් රජ පවුලේ සුරූපී කන්‍යාවන් සමුහයකගේ කුමරි බඹසර බිලිගත් රස්පුටින් නම් ජරපත් පුජකයාගේ සෙවනැල්ල බඳු විනිසුරෙක් නඩු ඇසුවේ අප රටේය. උත්තරීතර අධිකරණය එදා තම ගෞරවය යන්තමින් හෝ රැක ගත්තේ එකී මෙකී නොකී සේතන්ලා, සීමන්ලා සහ යූ. ආර්. ලා නිසා නොවේ. දිවි පරදුවට තබා පෙරට ආ වික්ටර් අයිවන් වැනි නිබය මිනිසුන්ට පින් සිදු වන්නටය.

යහපාලනය යනු සිරිකොතටත් -ඩාර්ලි පාරේ පක්ෂ කාර්යාලයටත් සින්නක්කර ලියා දුන් යමක් නොවේ. එය විශ්වව්‍යාපී මන්ත්‍රනයක්ව පවතින්නකි. ව්‍යාජ උත්කර්ෂයකට නංවා තිබුණේ වුවද එය පිළිපැදීම රටටත් -සමාජයටත් වටිනේය.එවැන්නක් ඔසවා තබන්නට අගති විරහිත කල්කිරියාවක් අවැසි වන්නේය. සිල්වා කෙනෙක් මුල් පුටුවේ සිටින සමයක හාල්පාරු කොලු ගැටයෙක් එක්තරා විභාගයකට ගත් ලකුණු සංඛ්‍යාව 99% ක් විය. තවත් නඩු ඇසූ උත්තමයෙක් කුප්‍රකට වූයේ කැලෑවේ කෙලි දෙලින් ගත කල ඇත් පැටවෙකුට උප්පැන්න සෑදීමෙනි. නීතියේ ආධිපත්‍යය යනු මම්ම පප්ප නලාවක් යැයි සිතා සිතු සිතු ලෙස නද දෙමින් ගත කළ සොහොයුරු කැලකගේ නරුම බව අභියස බවුන් වැඩු නීති සංගමයේ ඇත්තන්ට, හැරියට් ටුබ්මන් වසර 1822 දී කර ඇති පහත ප්‍රකාශය සිහි කල යුතුය.

”මම දහස් ගණන් වහල්ලු නිදහස් කලා -මට තවත් දහස් ගණන් වහල්ලු නිදහස් කරන්න තිබුණා. එයාල තමන් වහල්ලු කියල දැන ගෙන උන්නානම්”.

රන්ජන් මෙරටේ විචාරක සම්මානයට එතරම් පාත්‍ර වූ රංගවේදියෙක් නොවේ. එහෙත් ඔහු සුවහසක් රසික හදවත් මුසපත් කරමින් ජනප්‍රියත්වයේ හිණිපෙත්තට නැගී නළුවෙකි. සොරෙක් යැයි චෝදනා ලත් මන්ත්‍රීවරයෙක්ද නොවේ.විල්යුද පුංචි දෙපා කළු කරගන්නට එපා යැයි බෑගිරි ගසමින් මල් ගස් වටේ කැරකුනා මිසක් හතුරෙකුගේ හෝ අතක් පයක් කැඩුව එකෙක් නොවේ. මෙහෙවු එකා දඩු කඳේ ගසන්නට කල් යල් බලන නීති සංගමයේ ඇත්තන්ට යමක් සිහි කල මනාය. ”කියන ඕන විදියකට තීන්දු දෙන්නම් -මට මෙහෙම ඉන්න අරින්න” යැයි ජනපතිට කීවේ කවුද? පහත් තැනින් ජලය ගලන්නාසේ රන්ජන්ගේම බොටුව මිරිකන්නට වලි කෑම අප වටහා ගත යුත්තේ කවර සංදර්භයකින්ද?

හොරට නිදන්නවුන් නැගිට්ටවීම අපහසු වුවද පිදෙල් කස්ත්‍රෝ අධිකරණය ගැන කියූ මේ කරුණත් අසන්න යැයි ඉල්ලා සිටින්නෙමු. ”ඉතිහාසය මා නිදොස් කරනු ඇත” යන තේමාව යටතේ බැටිස්ටාගේ දුර්ධාන්ත පාලනයේ පීඩනය අතරතුර පැවසූ මෙකී වදන් අසන්නට නීති සංගමයේ ඇත්තන්ට මානසික නිදහසක් ඇතැයි අප අදහන්නෙමු.

‘‘කුසගින්නේ හඬන තමා ජාතක කළ දරුවාගේ බඩගින්න නිවාදැමිම සඳහා පාන්ගෙඩියක් සොරා ගන්නා මිනිසා සිපිරිගෙට යවන නඩුකාරයා, හැන්දෑවට වයින් බොමින් සාද පවත්වන්නේ කා සමගද? රක්ෂණ ආවරණ වන්දිය ලබා ගැනීම සඳහා කම්කරුවන්ද සමගින් සිය කර්මාන්තශාලාව ගිනිබත් කරන, කෝටි ප‍්‍රකෝටි ගණනින් මහජන මුදල් සොරා කන, කොල්ලකන, වංචනික ලිපි ලේඛන සකස් කරමින් රජයට ගෙවිය යුතු බදු මුදල් වංචා කරන, අපරාධ කටයුතු සඳහා ගෙවීමට ඇති දඩ මුදල අල්ලසක් මගින් නොගෙවා සිටින ධනපති ව්‍යාපාරික පැලැන්තිය සමගය. ඔවුන්ගේ අපරාධ කිසි දිනෙකවත් හෙලිදරව් කිරීමට විනිසුරුවන් ඉදිරිපත් නොවෙති. ඔවුන් කිසි දිනෙක සිපිරිගෙයක ඇතුලත බිත්ති හතර නොදකිනු ඇත. ඒත් ඒ සිපිරිගෙය කුසගින්නෙන් හඬන දරුවාගේ වේදනාත්මක කෑගැසීම ඉවසාගත නොහැකිව සරල සොරකමක් කරන මිනිසාට සැමදා විවෘතව පවතී.”

ඉදින් ගරු සභාපතිතුමනි, පණිවිඩය නොසලකා, පණිවුඩකරුවාට ගිණි පිඹීමේ අර්ථයක් නැතැයි ඔබ වටහා ගන්නේ කවදාද? සිල්වලාට රැක ගන්නට බැරි වූ මෙරට අධිකරණය, සම්භාවනීයත්වයේ මතු මහලට කැන්දා ගෙන ගියේ මාර්ක් ප්‍රනාන්දු වැනි වන්දනීය විනිසුරන්ය. එකී ප්‍රනාන්දුලා නැවතූ තැනින් අගලක් හෝ පෙරට යන්නට බැරි සිල්වලාගෙන් රටටත් -සමාජයටත් සුගතියක් නම් අත් නොවේමය.

ආචීර්ණ කල්පිත මිත්‍යා විශ්වාසයන්ගේ ගැලී සිටින මෙකී ඇත්තන් ගැන විෂ්ණු ෂර්මන් පංච තන්ත්‍රයේ මෙසේ කියා ඇත.”බුද්ධි බලයකින් තොර වූ මුග්ධයා හා එක්ව ජීවත් වනවාට වඩා අග්නි ජ්වාලයකට හෝ අගාධ ප්‍රපාතයකට හෝ අපායටම හෝ පැනීම හොදය.

හිතවත් රන්ජන්, රන් සමනළ ජෝඩු බබෙක්ව මල් පාරේ පා නැගුවා දැන් ඇතිය. විෂ්ණු ෂර්මන් කී ලෙස අග්නි ජ්වාලයකට හෝ අගාධ ප්‍රපාතයකට හෝ අපායට ම පනින්න. එය සමහර සිල්වලා හා දිවි ගෙවීමට වඩා හොඳය.

මංජුල ගජනායක