2015 ජනවාරි 8 දේශපාලන අත්දැකීමෙන් උගත යුතු පාඩම

රාජ්‍යතන්ත්‍රය ප්‍රතිසංස්කරණය කිරීම සෙල්ලම් බත් ඉවීම වැනි, සෙල්ලමක් නොවේ. සෙල්ලම් බත් ඉවීමේ යෙදෙන කුඩා දරුවෝ බොහෝ දුරට සිතන්නේ ඔවුන් තමන්ගේ මවුවරුන් හා වැඩිහිටියන් කරන ආකාරයටම ඇත්තෙන්ම බත් ඉවීමක යෙදෙන බවය. ඔවුහු එම සෙල්ලමටම තමන්ගේ මුළු අවධානය යොදා සහභාගිවෙමින් එයින් යම් දේ ඉගෙන ගනිති. එමෙන්ම යම් විනෝදයක් ලබති. පසුගිය දශකයන් ගණන තුළ බරපතළ ලෙස රාජ්‍යතන්ත්‍රය ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා අවස්ථා ගණනක්ම පහළ විය. එහෙත් එම සෑම අවස්ථාවකදීම රටේ එම කර්තව්‍යන්ට සම්බන්ධ වූ නායකත්වයන් මෙන්ම ඒවාට සහභාගි වූ බොහෝ ක්‍රියාධරයන්ද ක්‍රියාකළ ආකාරය ඇත්තෙන්ම සෙල්ලම් බත් ඉවීමේ ක්‍රියාවලියේ යෙදෙන කුඩා දරුවන් කරන ක්‍රියා කලාපයට වෙනස් එකක් නොවේ. ඔවුහු තමන්ගේ මනඃකල්පිත බලාපොරොත්තු උඩ විවිධාකාර බලපෑම් කිරීම මගින් ආණ්ඩුවක් තුළින් ඉක්මනින්ම රටේ ඇති වී ඇති ගැඹුරු දේශපාලන අර්බුදය විසඳා ගැනීමේ බලාපොරොත්තු ඇතිව විවිධාකාර ක්‍රියාවල යෙදුණහ. බොහෝ දෙනෙක් එසේ කළේ අවංක හැඟීමෙන් හා විශාල බලාපොරොත්තුවලින් යුතුවය. එහෙත් ඔවුහු සැබෑ ලෝකය තුළ කළේ කිසියම් වැඩක් මිස භාරදුර කර්තව්‍යයක් නොවේ. මෙසේ වෙනස්කම් ඇතිකර ගැනීමට පහළ වූ අවස්ථාවන් අතර 1970 වේ ඇති වු හවුල් ආණ්ඩුවත් ඉන්පසු 1994 දී පමණ චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට පත් කර ගැනීමත් පසුව මහින්ද රාජපක්ෂ බලයට පත් කර ගැනීම මෙන්ම 2015 ජනවාරි ඇති වූ දේශපාලන අත්දැකීමද සඳහන් කළ හැකිය. මේ සියල්ලේදීම ක්‍රියාකාරී වූ බොහෝ දෙනෙකු සිතා ගත්තේ ලංකාවේ සිදුවනුයේ ආණ්ඩුවක් විසින් සිදුකරන වැරදි බවත් ඒ ආණ්ඩුව පැත්තකට දමා තමන්ගේ අභිමතාර්ථයන් ඉටුකර ගැනීමට වුවමනාවක් දක්වන ආණ්ඩුවක් බලයට පත්කර ගතහොත් ඔවුනට මේ විශාල ප්‍රාතිහාර්ය කළ හැකි බවත්ය. එහෙත් දේශපාලනය වනාහි ප්‍රාතිහාර්යකරුවන්ගේ ක්‍රියාවලියක් නොවේ. එය පවතින ගැටලු තේරුම් ගෙන එම ගැටලු විසඳීමට අවශ්‍ය ප්‍රායෝගික අවබෝධයක් ඇතිව ගන්නා ඉතා තීරණාත්මක ප්‍රායෝගික ක්‍රියා මගින් පමණක් කළ හැකි විශාල ප්‍රයත්නයකි. එවැනි ප්‍රයත්නයක් කිරීමේ මුල්ම අවධිය ප්‍රශ්නය අවබෝධ කර ගැනීමයි. එනම් විසඳීමට බලාපොරෙත්තු වන ප්‍රශ්නය අවබෝධ කර ගැනීමයි. ලංකාවේ විසඳා ගැනීමට තිබුණු ප්‍රශ්නය, රාජ්‍යතන්ත්‍රය බලය යොදා රාජ්‍යය අරමුණු ඉටුකර ගැනීමට බැරි තත්ත්වයක පසුවූ යාන්ත්‍රණයක් බව වටහා ගැනීමය. එම වටහා ගැනීම ගැඹුරින් සිදුවූවා නම් එම වටහා ගැනීම තුළම ඊට විසඳුම් සෙවීමට අවශ්‍ය, මූලික මූලෝපායන්ද ජන අවබෝධයට ගෙනඒම තරම් අමාරු කාරණයක්ව නොතිබිණි. එහෙත් ප්‍රශ්නය වරදවා තේරුම් ගැනීම නිසා සිදුවුයේ අතීසාරයට අමුඩ ගැසීමේ ක්‍රියාවලියක මහජනතා ව්‍යාපාර යෙදවීමය.

රාජ්‍යතන්ත්‍රයක අර්බුදයක හා ආණ්ඩුවක අර්බුදයක අන්තර් සබඳතාවක් පවතින නමුත් මෙම ප්‍රශ්න දෙක එකිනෙකට වෙන්කර හඳුනාගත යුතුය. රාජ්‍යතන්ත්‍රය යනු රාජ්‍යය විසින් කළ යුතු ප්‍රධානතම කර්තව්‍යයක් ඉටුකර ගැනීම සඳහා නිර්මාණය කරගනු ලබන්නා වූ ඉතාම පුළුල් හා සූක්ෂ්ම යාන්ත්‍රණයකි. ආණ්ඩුවක් වෙනස් වූ පළියට රාජ්‍යතන්ත්‍රය වෙනස් නොවේ. රාජ්‍යයක දක්ෂතාව නම් පවතින රාජ්‍යතන්ත්‍රය යොදා ගනිමින් ඒ ඒ ආණ්ඩුවට විශේෂ වූ තොරතුරු ඒ රාජ්‍යතන්ත්‍රය තුළින් ඉටුකර ගැනීම මගින් මහජන අභිමථාර්තයන් ඉටුකර ගැනීමය. ඉතාම සරලව විස්තර කළහොත් යම් කර්මාන්තශාලාවක ඇති යන්ත්‍ර සූත්‍ර හා එහි වැඩ කරන කම්කරුවන් හා ඒ කම්කරුවෝ මෙහෙයවන නිලධාරීන් අතර ඇති සම්බන්ධය වැනි සම්බන්ධයක් රාජ්‍යතන්ත්‍රය හා ආණ්ඩුවක් අතර පවතී. නිසි ලෙස සංවිධානය කරගත් යන්ත්‍රණ වනාහි රාජ්‍යතන්ත්‍රයයි. එම යන්ත්‍ර පාවිච්චි කර ගැනීමෙන් විවිධ මට්ටමින් තමන් බලාපොරොත්තු වන නිෂ්පාදනය කර ගැනීමට කම්කරුවන්ගේ හා ඒ කම්කරුවන් මෙහෙයවන කර්මාන්තකරුවන්ගේ කාර්යය වේ. කොපමණ හොඳ කම්කරුවන් සිටියත් කොපමණ හොඳ කර්මාන්තකරුවන් සිටියත් අවශ්‍ය යන්ත්‍රෝපකරණ නැති තැන ඉහත කී නිෂ්පාදනය සිදුකරගත නොහැකිය. නිෂ්පාදනය වර්තමාන යන්ත්‍රෝපකරණවලින් උපරිම මට්ටමෙන් කර ගැනීමට නම් මුලින්ම එම යන්ත්‍රෝපකරණ අවශ්‍ය මෙන්ම ඒවා නිසි ලෙස සංවිධානය කොට සකස් කර ගත යුතුය. රාජ්‍යතන්ත්‍රයත් එසේය. රාජ්‍යතන්ත්‍රයක ප්‍රධාන අවයවයන් වන්නේ මුලින්ම එම රාජ්‍යතන්ත්‍රය සකස් කිරීමට පදනම් වී ඇති නීති මාලාවන්ය. එම නීති මාලාවන්ට අනුව සකස්වුණු නිලධාරීතන්ත්‍රයක් තිබිය යුතු වේ. එම නිලධාරීතන්ත්‍රයේ බොහෝ අංග ඇත. රටේ නීතිය ක්‍රියාත්මක කර ගැනීමේ උපකරණය වශයෙන් පොලිසියද රාජ්‍ය තුළ නීතිය නිසි ලෙස හා සාධාරණ ලෙස පවත්වා ගැනීමට නීතිපති දෙපාර්තුමේන්තුව හා අධිකරණයද රාජ්‍ය අරමුණු ප්‍රායෝගිකව ඉටුකර ගැනීමට යොදවන සිවිල් සේවයද ආදී වශයෙන් පවතින නිලධාරිතන්ත්‍රය අවශ්‍ය පුහුණුවත් ඥානයත් කාර්යය කිරීමට අවශ්‍ය වන බලයත් එම බලය ක්‍රිියාත්මක කර ගැනීමට අවශ්‍ය සම්පත් ආදියෙන් සන්නද්ධ කර පැවතිය යුතුය. එසේ හොඳින් සංවිධානය වූ එම නිලධාරිතන්ත්‍රයට අවශ්‍ය අණදෙමින් ක්‍රියාත්මක කරන්නේ විටින් විට පත්වන ආණ්ඩු මගිනි. එහෙත් ආණ්ඩුව ඉහත සඳහන් නිලධාරීතන්ත්‍රයක තැන ගන්නට උත්සාහ කළ මොහොතේදීම රියදුරා යන්ත්‍රය ක්‍රියාත්මක නොකර ගමනක් යන්නට උත්සාහ කරන්නෙකුගේ තත්ත්වයට පත්වේ. ලංකාවේ නොකඩවාම සිදුවෙමින් පැවතී ඇත්තේ මෙම ක්‍රියාවලියයි.

පසුගිය කාලය පුරාම රාජ්‍යතන්ත්‍රයේ අර්බුදය අඩියෙන් අඩියට වඩාත් අර්බුදයට ගියේ ය. යම් තරමකින් හෝ පැවති රාජ්‍යතන්ත්‍රයේ අංගයන් තමන් කැමති ආකාරයට හසුරුවීමට ගොස් ඒවා විනාශ කර දැමීමක් ද සිදුවිය. එම විනාශකර ගැනීම මූලික වශයෙන් සිදුවූයේ 1970 පත් වූ හවුල් ආණ්ඩුවෙන් හා 1978 පසු වූ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව විසිනි. ඊට පසු කාලයේ ඇති වූ ආණ්ඩු එම විනාශයම වඩා වඩාත් ඉදිරියට ගෙනයමින් හුදෙක් දේශපාලනඥයන්ගේ ශක්තිය මත යම් දේ කළ හැකි යැයි යන මිථ්‍යාව මිනිසුන් අතර පතුරවමින් විශාල වශයෙන් ජනතා නොමඟ යැවීමක් මෙන්ම තමන් නොමඟ යවා ගැනීමක් ද සිදුකරන ලදි.

මෙසේ යම් අවධියකදී රාජ්‍යතන්ත්‍රයේ අබලන් වීම කොපමණ ද කිවහොත් එයට තවදුරටත් රාජ්‍යතන්ත්‍රයක් විසින් කළ යුතු ක්‍රියාවන් ක්‍රියාත්මක කිරීමට බැරි තත්ත්වයකට පත්විය. මෙවැනි අවස්ථාවක දේශපාලනඥයන් විසින් කරනු ලබන්නේ බලවත් රාජ්‍ය පාලකයෙක් පිළිබඳ මිථ්‍යාව නිර්මාණය කිරීමයි. මහා ශක්තිමත් බලවතෙකු පැමිණ රාජ්‍යතන්ත්‍රය ඒ තැන ගනිමින් සියලුම අණ දීම් ආදී කිරීමකින් පමණක් හා බලය විශාල වශයෙන් පාවිච්චි කිරීමෙන් දරුණු ලෙස ජනතාව මර්දනය කිරීම මගින් රජය විසින් ඉටුවිය යුතු ක්‍රියා කිරීමට උත්සාහ කරයි. මෙවැනි ආණ්ඩුවක අවසානයේ පැවති ආණ්ඩුව ලෙස සඳහන් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් ආණ්ඩුවයි. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ආදීන්ගේ නායකත්වය යටතේ විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය දැඩි ලෙස වර්ධනය කිරීම තුළින් හා මුළුමනින්ම නීති විරෝධී ලෙස යොදා ගැනීමෙන් හා රාජ්‍ය කරගෙන යාමට යම් උත්සාහක යෙදුණු නමුත් එයින් සිදුවූයේ පැවතුණු අර්බුදය තවත් විශාල ප්‍රමාණයකට වැඩිවීමය.

2018 ජනවාරි මාසයේ දී සැලකිල්ලට ගත යුතු මෙම විශාල කාරණාව යටපත් වූයේ යම් මර්දන තන්ත්‍රයකින් හෙම්බත් වී ඇති මිනිස්සු එයින් සුළු කාලයකටවත් ගැලවීමට ලැබුණු අවස්ථාව විශාල දේශපාලන පරිවර්තනයක් කොට සලකා එයින්ම පමණක් තෘප්තියට පත්වීම නිසාය. ඊළඟට ඔවුන්ගේ උපාය මාර්ගය වූයේ තමන් පත් කර ගත් නායකයන්ට බලපෑම් කිරීම තුළින් කෙසේ හෝ රාජ්‍යතන්ත්‍රයේ මොන අඩුපාඩු තිබුණත් යම් අරමුණ ඉටුකර ගැනීමට උත්සාහ කිරීමයි. උදාහරණ වශයෙන් විශාල අපරාධ කර තිබූ අපරාධකරුවන්ට කෙසේ හෝ දඬුවම් කරන ලෙස බලකිරීම එක් උපාය මාර්ගයකි. එහෙත් රාජ්‍යතන්ත්‍රයක් ගැන අවබෝධයක් ඇති කවුරුත් දන්නා එක් දෙයක් නම් නිසි ආකාරයකින් අපරාධකරුවන් මර්දනය කිරීම සඳහා අධිකරණ ක්‍රමය පාවිච්චි කිරීම වනාහි අතිශයින් සූක්ෂම වූ ක්‍රියාවලියක් වන බවයි. එම ක්‍රියාවලිය කළහැක්කේ ශක්තිමත් රාජ්‍යතන්ත්‍රයක් තිබෙන තාක් දුරට පමණි. එය හුදෙක් දේශපාලන නායකයන්ගේ අරමුණ මගින් ඉටුකර හැකි ප්‍රාතිහාර්යයක් නොවේ.

මෙම පාඩම දැන් කවුරුත් අත් දැක විඳ ඇති පාඩමකි. එහෙත් ඒ තුළින් බැසගත යුතු නිගමනය නම් ආණ්ඩුව පිළිබඳ අවබෝධය පමණක් මත රාජ්‍යතන්ත්‍රයක් නිර්මාණය කළ නොහැකිය යන අදහස තවම ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ ගැඹුරින් සාකච්ඡා වී ප්‍රධානතම දේශපාලන මතය බවට පත්වී නැති බවයි. එහෙත් අත්දැකීමෙන් උගත් පාඩම් නිසා මෙම තත්ත්වය තේරුම් ගැනීමට කාටත් එතරම් අමාරු කාර්යයක් නොවේ. මෙම අවස්ථාවේදී ප්‍රධානතම යුතුකම වන්නේ සෙල්ලම් බත් ඉවීමේ දේශපාලන ක්‍රියාකාරීත්වය සදහටම අමතක කොට බැරෑරුම්ව රටේ රාජ්‍යතන්ත්‍රය පිළිබඳ ගැටලු පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීමට ඒ විසඳා ගැනීම සඳහා උපක්‍රම නිර්මාණය කර ගැනීමත්, එම උපක්‍රම නිර්මාණය කර ගැනීමට කැමති වන පක්ෂ හා නායකයන් බලයට පත් කිරීම තුළින් රාජ්‍යතන්ත්‍රය ප්‍රතිසංස්කරණය කර ගැනීමේ කර්තව්‍යයට සියල්ලටම පෙර මුහුණදීමත් ය.

දැන් රට පසුවන්නේ අරාජික තත්ත්වයෙනි. මෙම අරාජික තත්ත්වය නම් රාජ්‍යතන්ත්‍රයේ කඩා වැටීමයි. එම රාජ්‍යතන්ත්‍රයේ කඩා වැටීම නොවිසඳෙන තාක් දුරට තව තවත් අරාජිකවාදයේ අගාධයට යනවා මිස වෙන අනාගතයක් ඉතිරිව නැත. මෙම මහා අරාජික තත්ත්වයට මුහුණදීම බැරෑරුම්ව සිදුකළ යුත්තේ රාජ්‍යතන්ත්‍රය පිළිබඳ ප්‍රශ්නය රටේ දේශපාලන ප්‍රශ්න අතර මුල්ම ප්‍රශ්නය බවට පත් කිරීම තුළින් පමණි.