අනේ ප්‍රේමදාස මහත්තයා හිටියා නම් !

රටට විපතක්, දුකක්, පීඩාවක් දැනුණු හැම මොහොතකම තවමත් ජනතාව මුමුනන දෙයක් ඇත. එනම් ‘අනේ ප්‍රේමදාස මහත්තය හිටියා නම් අපට මෙහෙම වෙන්නෙ නෑ’ යන්නය. ඒ තරමටම අදටත් ප්‍රේමදාස මහතා සිහිපත් කරන අය බොහෝය. ඊට හේතුවක් තිබිය යුතුය. ඔහු නැති කාලයක සුනාමි විපතින් රටම අනාථ විය. පිට රටවලින් ආධාරද ලැබුණේය. ඒ විපත, වෙනුවෙන් ලෝකයාගේ ඇස් එතරම් විවර වූ, ආධාර කෙරුණු අවස්ථාවක් නොවීය. ඒත් තවමත් සුනාමි විපත නිසා දුකට පත් ඇතැමුන්ට නිසි පිළිසරණක් නැත. ‘ප්‍රේමදාස මහතා සිටියා නම්’ යැයි කියැවුණු ප්‍රමුඛතම අවස්ථාව එයය. ඉන් පසු සාමසර කන්ද නාය යෑම, ස්වාභාවික විපත්වලින් අන්ත අසරණ වීම, යුද්ධයෙන් විපතට පත් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව කාලයක්ම සරණාගත කඳවුරුවල සිටීම, කුණු කන්ද නාය යෑම වැනි හැම මොහොතකම ‘ප්‍රේමදාස මහතා හිටියා නම්’ යැයි කියැවුණේ ඇත්තටම ප්‍රේමදාස මහතා හිටියා නම් ඒ දුකට පත් හැම දෙනාම සැපතකට හරවන දැවැන්ත ක්‍ෂණික උත්සාහයක් ගන්නා බැවිනි.

පාන්දර තුනට හැඟිටගෙන දවසේ පත්තර සියල්ල කියවා එහි තිබූ ජනතා ගැටලු එළිවෙන්නට පෙර අදාළ නිලධාරීන් අවදිකරවා ඉටු කරන තැනට කටයුතු කළ ‘ප්‍රේමදාස ක්‍රමවේදය’ අද නැත. රාජ්‍ය සේවයේ යම් විනයක් තිබුණු වකවානුවක් තිබුණා නම් ඒ ප්‍රේමදාස යුගයේය. සුළු සේවකයාගේ පටන් ඉහළ නිලධාරියා දක්වා ප්‍රේමදාස මහතා යන යන තැන දිවගොස් වැඩ කර පෙන්වූයේ වෙන කවරදාකවත් නැති විධියටය. ඒ නිසාම ප්‍රේමදාස මහතාට ඇති බය නිසා දෝ වැඩේ හරි නම් ඉටු වුණේය. අද ජනාධිපති කියලත් වැඩ නොවෙන රටක් බිහිවෙලාය. ඇතැමුන්ට දැන්නම් මතක නැති වූවාට එදා ජනතාවට යමක් කරගන්නට කොළඹටම එන්නට සිදුවිය. එය වෙනස් කළේ ප්‍රේමදාස මහතාය. දිසාපතිගේ බලය ‘ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත විමධ්‍යගත කර පරිපාලනය ගමට ගෙන යන්නට ‘ප්‍රාදේශීය ලේකම් කාර්යාල’ හැදුවේ ඔහුය. අද උප්පැන්න සහතිකය, මරණ සහතිකය, විවාහ සහතිකය, හැඳුනුම්පත ගන්නට ආදී අත්‍යවශ්‍ය දේ ගන්නට කොළඹට එන්නට ඕනෑ නැත. ගමේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ඒවා කරගත හැකිය.ගමට මුදල් ලැබෙන ගමේ ආර්ථිකය පණ ගැහෙන දෙයක් කළේ ඔහුය. එවකට ආසියානු කලාපයේ වේගවත්ම ඇඟලුම් කර්මාන්ත ව්‍යුහය ඔහු පටන් ගත්තේ වේගයෙනි. ගැමි දරුවකුට කොළඹ බෝඩිමක තපින්නට ඉඩ නොතබා, ඒ මුදලද ඉතිරිවෙන ලෙස හද්දා පිටිසර ගම්මාන තුළට ඇඟලුම් හල් ගෙන ආවේය. ගමේ කඩමණ්ඩියේ කඩවලට මෙන්ම ගමේ ආර්ථිකයටද ජීවයක් ලැබුණේය. ගමේ පැල්පතට මුදල් ගලා ආවේය. ‘ප්‍රේමදාස සුද්දියන්ට ජංගි මහන්න කම්හල් හදනවා’ කියා ඔහුට පරිභව කළ අයට අද මේ වන තුරුත් හරි හැටි කර්මාන්ත විප්ලවයක් කරගන්නට බැරි වූ තැනකය.

ඔහුට දුක හොඳ හැටි දැනුණේය. කොළඹ හැදුණු, වැඩුණු ප්‍රේමදාස මහතා පෝලිම්වල ලැග රජයේ ආයතනයකට බිල්පත් ගෙවන්න ගිය මිනිහාගේ පටන්, මරණාධාර සමිතියේ කෙරුවාව තෙක්ම අපේ රටේ පරිපාලන කෙරුවාවේ කඩාවැටීම, රිදවීම දෑසින් දුටුවේය. මේ නිසාම තරුණ වියේ සිටම දේශපාලනයේ ඔහු වඩ වඩාත් තෙම්පරාදු වූයේ සැබෑම ජනනායකයකුගේ අත්දැකීම් බහුල ප්‍රායෝගික නායකත්ව ලකුණු පෙන්වමින්ය.

ඔහු කිසිදිනෙක මුල අමතක නොකළේය. ශ්‍රී සුචරිත ව්‍යාපාරයෙන් සමාජ මෙහෙවර ඇරැඹූ හෙතෙම අගමැති වූ පසුත් ඔහු හා දුෂ්කර ක්‍රියා කළ ක්‍රියාකාරිකයන් හා ඔවුන් හා පසුකළ කටුක අතීතය අමතක නොකළේය. එය ඔහුගේම වචනවලින් මෙසේය.

‘මට දැන් කවුරුහරි කිව්වොත් ආයෙත් 1939 අවුරුද්දට යන්නය කියලා.. මට නම් ආයෙ යන්න හිතෙන එකක් නෑ දෙයියනේ. ඒ තරම් කටුක කාලයක්. හිතාගන්නවත් බෑ. මොනතරම් දුකක්ද මම වින්දෙ. මොනතරම් දුකක්ද ඔයගොල්ලො මාත් එක්ක ඇවිත් වින්දේ. මට ඒ කාලෙ නම් ජීවිතේ කවදාවත් අමතක වෙන්නෙ නෑ. මට අගමැතිකම ඕනැයි කියලම නෙවෙයිනෙ මං පටන්ගත්තෙ. හිමින් හිමින් මාව නොදැනීම ඉස්සරහට තල්ලු වුණා. මට හිතෙන්නෙ මං සංසාරේ පතාගෙන ආපු දෙයක් වෙන්න ඇති. මේ රටේ ඉපදිලා ඉඳලා මේ රටේ ඇත්ත දැනගෙන මේ වගේ අඩු පහසුකම් තියෙන දුප්පත් මිනිසුන් අතර පොඩි මිනිහෙක් වෙලා ඉපදුණෙත් ඒක වෙන්න ඇති.’

අගමැති වූ පසු සුචරිත ශාලාව හොඳින් නිමවා එය විවෘත කළ දා හෙතෙම තම හදගැස්ම මෙසේ ඉදිරිපත් කළේ එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයන්ද මුලසුනේ තබාගෙනය.

‘මම ගොඩාක් දුක් වින්ද කෙනෙක්. ඒ නිසා දුක ගැන මට අමුතු කතා කියා දෙන්න ඕනෑ නෑ. මගේ පියාගේ මරණයෙන් පස්සෙ අපි හරිම අසරණ වුණා. අපි අනාථ වුණා. ඒත් මම නැඟිට්ටා. 1964 මම විවාහ වුණාට පස්සෙ මට තේරුණා මම අනාථභාවයෙන් මිදුණා කියලා. බිරිය මට මේ වැඩකටයුතුවලට විශාල රුකුලක් දුන්නා. ඥාතීන් වගේම මිත්‍රයන්ද පරාජයේදී මාත් එක්ක හිටියා. ඒක ජයග්‍රහණයේදී මේ ඉන්නව වගේ නෙවේ. හරිම වටිනවා දුකේදී ළඟින් ඉන්න එක. මගේ සරණ බන්ධනයෙන් පස්සෙ මගේ උපකාරයට තවත් දෙන්නෙක් මට ලැබුණා. ඒ මගෙ පුතයි, දුවයි. හැබැයි ඒ දෙන්නා ආණ්ඩු පක්ෂයේ නම් නෙවේ. විරුද්ධ පක්ෂයේ. නිතරම කරන්නේ විවේචනය.
ඒකත් මට දැන් රුකුලක් වෙලා තියෙනවා. මැතිවරණ කාලෙ මම ගෙවල් ලක්ෂයක් හදන බව කිව්වා. මැතිවරණය ඉවරවුණු හැටියෙම මගෙ දුව අහන්න පටන් ගත්තා. ‘තාත්තෙ කෝ ගෙවල් ලක්ෂය?’ කියලා. ගෙවල් හැදීගෙන එනකොට කිව්වා මේසන් බාස්ලට කියලා නෙවේ තාත්තම ගෙවල් හදල පෙන්වන්න ඕන කියලා. ඒ වගේ දරුණු විවේචන තියෙනවා. පුතත් ඒ වගෙයි. මම එදා ගෙදරට එනකොට කියනවා, අපොයි අපොයි අපේ කතාව නවත්වමු. මොකද අපෙත් ප්‍රජා උරුමය නැති කරයි කියලා. ගෙදරදී දරුවන්ගෙන් එන විවේචනත් හොඳයි. තාත්තාලා ගෙදරදීත් හැදෙනවා. අපි හැම තැනදීම හරිත් නෑනේ. ඒ නිසා මේ තත්ත්වෙට එන්න, මං අගමැති වෙන්න ගෙදරදීත් මට ලොකු උදව්වක්, විවේචනයක් ලැබුණා. ඒකයි මම තවමත් තමුන්නාන්සේලාගේ අගමැති වෙන්නෙ.’

අද මෙන් ගමේ ආර්ථිකය අමතක කරන උන්දැලා සිටින රටක ගමට මුදල් ගලා යන්නට සලස්වා ගමේ මිනිහාට ඔහුගේ තරමටත් වඩා හොඳ නිවහනක ජීවත්වන්නට ඉඩ හසර සැපැයුවේය. ‘උදාගම්’ හැදුණේ එහෙමය. උදාගමක් හැදෙද්දී, ගමට මුදල් ලැබෙද්දී රැකියා මැවුණේය. මේසන් බාස්ගේ පටන් අත් උදවුකරුවා දක්වාද? ඉන් අනතුරුව සිමෙන්ති විකුණන වෙළෙන්දාද, වැලි හා ගල්, ගඩොල් වෙළෙන්දාද පොහොසත් වූයේ ඒවාට බැඳුණු රැකියා අවස්ථාද වැඩි කරමිනි.

මෙය ග්‍රාමීය ආර්ථිකයට ජීවයක් එක් කළ සුවිශේෂී අවධියක් විය.

ප්‍රේමදාස මහතාට මේ විශ්වකර්ම වැඩේ කරගෙන යන්නට එදා මුදල් අමාත්‍යාංශයෙන් යහමින් මුදල් නොලැබිණි. කාටවත් ආඩපාළි නොකියූ හෙතෙම ‘සෙවණ’ ලොතරැයිය පටන් ගෙන, ඒ හරහා ජනතාවගේ මුදලින් ‘රටටම ගෙවල් හදන ලොතරැයියක්’ පටන් ගත්තේය. එහි හොඳම අවස්ථාව ගම්උදාව ප්‍රදර්ශනයයි. මෙය සැණකෙළියක් බවටත්, මුදල් කා දමන්නක් බවටත් දරුණු විවේචන බොහෝ විය.

එහෙත් ගම්උදාව හරහා ගොවිතැන් බත් කළ හද්දා පිටිසර ජනතාවට මොහොතකට හෝ සතුටක් විනෝදනයක් ගමටම ගෙනැවිත් දෙන ක්‍රමය ගැන කිසිවකුත් කතා කළේ නැත. මැරිගෝරවුමේ සිට දරු මල්ලන් සමඟ දවසක් දෙකක් හෝ මේ අහිංසක ගැමියන්ට විනෝද වන්නට තිබුණු අයිතිය දෙපාමුලට ගෙන ආවේය.

‘ගම්උදාව’ නිසා එම ප්‍රදේශය හා ඒ අවට මංමාවත් අලුතින්ම හැදුණු අතර හද්දා පිටිසර ප්‍රදේශවල ගම්මාන, පොකුරු ගම්මාන බිහි වූ අතර ඒ හැමටම විදුලිය ද ලැබුණේය. ගමට කම්හල්, ගමට විදුලිය, ගමට නිවාස, ගමට මුදල් ගලා ආවේ එලෙසය. ඊට ජාති, ආගම්, කුල භේද තිබුණේ නැත. යුද්ධය පැවැති කාලයේ පවා වවුනියාව වැනි දුෂ්කර ගම්වලටද ඒ අනුව කම්හල් ලැබුණේය. එය ප්‍රභාකරන්ගේද යම් සැලකිල්ලකට, තැති ගැන්මකට ලක් වූයේය. ‘ප්‍රේමදාස දෙමළ නිජ භූමිය සියුම් විධියට සමාජ, ආර්ථික, දේශපාලනමය වශයෙන් ආක්‍රමණය කරනවා’ යන ප්‍රභාකරන්ගේ විනිශ්චය එකල උතුරේ පුවත්පත්වල එලෙස පළ වුණේය.

ඔහු සැණින් ප්‍රශ්නය විසඳන්නට ප්‍රායෝගිකව කටයුතු කළ ශූර නායකයෙකි. දුම්රිය හරස් මඟකදී දුම්රියේ හැපී මිනිසුන් මිය ගිය පුවත සැලවූ සැණින් ඔහු රට පුරාම “උණ බම්බු ගේට්ටු” සවිකර ගමේම ජනසවිලාභියකු ඒවා ක්‍රියා කරවන්නට පත් කොට ඔවුන්ටද රැකියාව දුන්නේය.

වෙලාවට වැඩකරන පුරුද්ද ඉහළින් අගය කළ හෙතෙම ධානපතියන්ගේ ආධාරයෙන් ගමේ ටවුමේ කාටත් පෙනෙන්නට වෙලාව බලා කියා ගන්නට ඔරලෝසු කණු පිහිටුවිය.හෙළ අතීතය අමතක නොකළ ප්‍රේමදාස මහතා අපේ රජවරුන් ගැන වූ මතකය අලුත් පරම්පරාවට, සිහිපත් කරවීමට. එම රජවරුන්ගේ ප්‍රතිමාද ඉදිකරවූයේය. එපමණක් නොව හැදුණු ගම්උදා පරිශ්‍රයේ දාගැබක්ද තනා ආගමික ස්ථානද නිමැවීය.

ගැමියාගේ දෙපාමුලට ඉහළ සෞඛ්‍ය පහසුකම් ඇති රෝහලක් ගෙන එන්නට ඔහු සිහින ද දුටුවේය. මියයන්නට ආසන්න කාලයේ රට පුරාම එවැනි ග්‍රාමීය මට්ටමේ අංග සම්පූර්ණ රෝහල් 200ක් ඉදිකිරීම සැලැසුම් කරමින් උන්නේය.

ඔහු ප්‍රභාකරන් කොටු කරන්නට හා අඩු මිනිස් බලයකින් යුද්ධය ඉවර කරන්නටද උපාය යෙදුවේය. ‘මහත්තයා’ ප්‍රභාකරන්ගෙන් කඩා මානසිකව ප්‍රේමදාස මහතා වෙත නතු කර ගෙන තිබුණේය. ප්‍රභාකරන්ගේ කේන්දරය පවා හොයාගෙන ඔහුට මාරක මොහොතක පහරදී වැඩේ ඉවරයක් කර දමන්නටද සැලැසුම් කළේය.

මේ සියල්ල හොඳින් නිරීක්ෂණය කළ ප්‍රභාකරන් මෙන්ම දකුණේ සිටිය ඇතැම් විරුද්ධවාදීන්ද ඊට අඩුමකුඩුම සපයමින් ‘ප්‍රේමදාස මිනීමරුවෙක්’ ය යන්න රට පුරා පතුරුවමින් තම තමන් ශුද්ධවන්තයන් යැයි නොකියා කියා ගනිමින් ප්‍රේමදාස ඉවර කරන වැඩේ පටන්ගෙන තිබුණේය. මෙය තනිකරම දේශපාලන කුහකකමක් නිසා ඇති වූවක් බව පෙනුණේ ප්‍රේමදාසට එරෙහිව පක්ෂය තුළත් ඉන් පිටතත් රොද බැඳගත් බලවේගවල ක්‍රියාකාරිත්වයෙනි. ඒ අනුව ප්‍රේමදාස මහතා තව එක දවසකවත් ජීවතුන් අතර තබාගැනීම ප්‍රභාකරන්ටත් දකුණේ අන්තවාදීන්ටත් හිසරදයක්ම විය. එහි අවසානය වූයේ ඔහු උපන් ගමේදීම, ඔහු හා බැඳුණු පීඩිතයන් අතරේදීම ඔහුව සාහසික ලෙස ඝාතනය කර දැමීමය.
එය එසේ වූ බව ජනතාවගේ හෘදය සාක්ෂියට දැනුණේය. ඒ නිසාම ජනතාවගෙන් අති බහුතරයක් තවමත් ‘අනේ ප්‍රේමදාස මහත්තයා හිටියා නම්’ යැයි කියන්නේ නිකමට නොවේ.

මව්බිම