විධායකය නැමැති ‘දඩබල්ලා’ සහ ‘දේශපාලන කිනිතුල්ලෝ’…!

විධායක ජනාධිපති ධුරය අහෝසී කිරීම නැමැති සංවාදය නැවත කරලියට පැමිණ තිබේ. 1978 ජේ. ආර් ජයවර්ධන විසින් මෙරටට හදුන්නා දෙනු ලැබූ විධායක ජනාධිපති ධුරය සම්බන්දයෙන් වන විරෝධය අද ඊයේ ඇති වුවක් නොවේ. එදා ජේ.ආර් විසින් 77 මැතිවරණයෙන් තමන්ට ලද හයෙන් පහක (5/6) බලය උපයෝගී කරගෙන අපමත පටවන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදුන්වාදුන් දින සිටම විධායක ජනාධිපති ධුරය අහෝසී කිරීම නැමැති සටන් පාඨය මෙරට වමේ මෙන්ම අනෙකුත් ප්‍රගතිශීලි නායකයින්ගේද සටන් පාඨයක් විය.
අද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට එරෙහිවන විමල් , වාසු ඇතුළු කල්ලියේ සියළුදෙනාම එදා මෙම ‘විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම’ නැමැති සටන් පාඨය හඩගෑ පිරිස් වෙති. 1978 ජේ.ආර් ගේ ඒකාධිපති බලතල තරකරන ව්‍යවස්ථාව ගෙන එන මොහොතේ සමසමාජ , කොමිනිස්ට් පක්ෂ පමණක් නොව සිරිමා බණ්ඩාරනායකද ජවිපෙ සමග ඊට එරෙහි විය.
ඉන් පසුව එළඹි සෑම ජනාධිපතිවරණයකදිම ජවිපෙ සටන් පාඨය වුයේ විධායක ජනාධිපකි ධුරය අහෝසි කිරීමයි. මන්ද විධායක ජනාධිපති ධුරයේ අනුහස් වැඩි කලක් යන්නට මත්තෙන් රටට දැනෙන්නට විය. 1980 ජුලී වැඩවර්ජනය මර්ධනය කිරීම. 1981 සංවර්ධන සභා ජන්දය මංකොල්ලකෑම, යාපනය පුස්ථකාලය ගිණිබත් කිරීම පමණක් නොව එදිරිවීර සරත්චන්ද්‍රයන්ට කාණුපල්ලේ දමා චේන් පහරවල් දෙනවිටද අපට දැනුනේ මෙම විධායක ජනාධිපති ධුරයේ ආදිනාවයි.
1982 ජනාධිපතිවරණයේදී ජවිපෙ උත්සහ කලේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කර ජේ.ආර් පරාජය කිරීමය. නමුත් ඒ සදහා තම ප්‍රජා අයිතිය පවා අහෝසීවී සිටි සිරිමා එකග නොවීය. අවසානයේ එම උත්සාහය ව්‍යාර්තවු කල විධායක ජනාධිපති ධුරය අහෝසී කිරීමේ සටන් පාඨය යටතේ රෝහණ විජේවීර සහෝදරයා ජනාධිපතිවරණයට ඉදිරිපත්විය.
ඉන්පසු 1988 දී 1994 දී 1999 දී එළඹි සෑම ජනාධිපතිවරණයකම ජවිපෙ භූමිකාව වුයේ ඒකාධිපති විධායක ජනාධිපති ධුරය අහෝසී කිරීම සදහා මැදිහත්වීමයි. 1988 දී ද 82 දී මෙන් සිරිමා පොදු අපේක්ෂකයෙක් ගෙනඒමේ උත්සාහයට හරස්විය.
1994 ජවිපෙ ජනාධිපතිධුර අපේක්ෂකයා ඉවත්කර ගන්නෙ චන්ද්‍රිකා කුමාරතුංගගෙන් වසරක් ඇතුලත එනම් 1995 ජුලී 15ට පෙර විධායක ජනාධිපති ධුරය අහෝසී කිරීමේ ලිඛිත පොරොන්දුවක් රට හමුවේ ලබාගනිමිනි. චන්ද්‍රකා රටට දුන් එම ලිඛිත පෙරොන්දුව කඩ කල අවස්ථාවේ 1995 සිට සෑම ජුලි 15දාකම එම කඩකල පොරොන්දුව සිහිපත් කරමින් ජවිපෙ ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණය කරන ලදි. ඒ ප්‍රභාකරන් ජීවත්වන මරාගෙන මැරෙන බොම්බකරුවන් සහිත එල්.ටී.ටී.ඊ සංවිධානය සක්‍රීයව මෙම භූමිය මත සිටින තත්වයක් තුලය. එදා එම උද්ඝෝෂණ සදහා ජවිපෙ ටිල්වින් , ලාල් , අනුර සමග අද විධායකය රකින විමල්ද විය. එදා එම උද්ඝොෂණ වල මාධ්‍ය ඉදිරියේ ජවිපෙ ප්‍රකාශකයා වුයේ විමල්ය. අද ජවිපෙ විධායක ජනාධිපති ධුරය අහෝසී කිරීමට 20 වන ව්‍යවස්ථා සංශෝදනය ගෙන එනවිට ඊට එරෙහිව තප්පුලන බොහෝ අය එදා ලිප්ටන් වටරවුමේ පිකට් බොඩ් අල්ලන් සිටි අයයි.
1999 වමේ පොදු අපේක්ෂකයෙක් ලෙස තවත් පක්ෂ කිහිපයක් සමග ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවිටද විමල් ඇතුළු ඔය නඩය වේදිකා දෙවනත් වනතුරු හඩනැගුවේ ‘විධායකය අහොසී කරනු’ කියාය.

එපමණක් නොව 2005දි මහින්ද රාජපක්ෂ තම ‘මහින්ද චින්තන’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව සදහන් කරන්නේ විධායකය අහෝසි කිරිම සම්බන්දවයි. එදාද ජවිපෙ වෙනුවෙන් මහින්දගේ මැතිවරණ වෙදිකාවේ හඩ නැගු එක් අයෙක්වුයේ විමල්ය.
ඉන් අනතුරුව 2010 දී මෙන්ම 2015 දී පැවති ජනාධිපපතිවරණ වලදීද ජවිපෙ ස්ථාවරයේ වෙනසක් නොවීය. ඔවුන් සැමදා තම පක්ෂයේ ස්ථාවර වු විධායක ජනාධිපති ධුරය අහෝසී කිරීමේ සටන් පාඨය තුල නොවෙනස්ව කටයුතු කර ඇත.
මේ අනුව පෙනී යන්නෙ තම පැවැත්ම හා රැකවරණය වෙනුවෙන් දේශපාලනයේ අනාතයන් විසින් ජවිපෙට එරෙහිව අවලාද ගොඩනගමින් සිටින බවයි. ඔවුන් එල්ල කරන ප්‍රධාන විවේචනයක් වන්නේ ජවිපෙ 20 වන සංශෝධනය ගෙන ඒමෙන් රටේ ඒකීයභාවය පාවාදී ඇති බවයි. 13වන ව්‍යවස්ථා සංශෝධනය හරහා පලාත්සභා ක්‍රියාත්මක තත්වයක් තුල විධායක ජනාධිපති ධුරය අහෝසී නොකලයුතු බවයි. ඔවුන් මෙම ත්ත්වය 1994 , 1999 , හා 2005 දී නොදැක්කේ මන්ද?
මෙම තර්කය වුවද අසත්‍යකි. 1990දී වරගරාජා පෙරුමාල් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් ප්‍රකාශ කරන විටද එය ව්‍යාර්ත කරන ලද්දේ එදා පැවති විධායක බලතල අනුව නොව පලාත් සභා පනතට පාර්ලිමේන්තුවේදී සංශෝදනයක් ගෙන එමින් ඒ හරහාය. අදටද පලාත්සභා පනත අනුව එම ඉඩ ප්‍රස්ථාව පවතී. ජවිපෙ ගෙන එන 20වන සංශෝධනය හරහාද ආණ්ඩුකාර වරයාගේ බලතල වෙනස් නොවන බව ඔවුන් පැහැදිලිව පවසයි.

මේ සියල්ල හරහා අපට පෙනී යන්නෙ මෙම දේශපාලන කිනිතුල්ලන් මේ දගලන්නේ තම පැවැත්ම වෙනුවෙන් මිස වෙන යමක් උදෙසා නොවන බවයි. ඒ සදහා ඔවුන් සැමවිටම පාහේ පාවිච්චි කරනුයේ දේශප්‍රේමි සළුවයි. රටේ ඒකීයභාවය ඒ සදහා හොදම තුරුම්පුවය. දකුණේ බහුතරයකට අලෙවිකල හැකි ලාභ සටන් පාඨය එයයි.එය මේ දේශපාලන කිනිතුල්ලන් හොදින් දන්නා කරුණකි. එම නිසා මෙවරද ජවිපෙ රටට වැදගත් හා ඉතිහාසය පුරා ඉටුකර ගැනීමට නොහැකිවු විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ කරත්‍යයට අතගසා ඇති විට ඔවුන් තම පැවැත්ම ගැන සිහින මවයි.
මෙවැනි දේශපාලන කිනිතුල්ලන්ගේ අවශ්‍යතාවය තමන්ට රැකවරණය දෙන තම පැවැත්ම ආරක්ෂාවන විධායක දඩ බල්ලෙකි. මෙවර ඔවුන්ගේ තේරීම ගොඨාය. 2020 ජනාධිපතිවරණයට ගෝඨා ඉදිරිපත්කර ඒ හරහා තම පැවැත්ම රැකගැනීම මෙම දේශපාලන කිනිතුල්ලන්ගේ උපක්‍රමයයි. ඒ වෙනුවෙන් වෙහෙසෙනවා හැරෙන්නට රට ගැන සිතා රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෙහෙසීමෙන් තම පැවැත්ම අනතුරට පත්වනබව මෙම දේශපාලන කිනිතුල්ලන් අවබොධ කරගෙන සිටී.