තේරෙයි.., කල් යයි..! වැලිකඩ සමූහ ඝාතනයට සම්බන්ධ පොලිසියේ රංගජීව සහ බන්ධනාගාරයේ එමිල් රන්ජන්ට බඩු බනිස්..! ගෝඩ් ෆාදර්ට කවදා ද?

(ලංකා ඊ නිව්ස් -2018.මාර්තු.29, ප.ව.4.45) මත් ද්‍රව්‍ය නාශක අංශයේ දිගු කලක් බඩ රස්සාව කරමින් එය තමන් කෝටිපතියෙකු වීම දක්වා ජාවාරමක් කරගත්, පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව නමැත්තා 2012 නොවැම්බර් මාසයේ දී වැලිකඩ සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සැකකරුවෙකු ලෙස සිද්ධියෙන් වසර 5 කට පසු ඊයේ රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තේ ය. ඉන් පසුව එම සිද්ධියටම සැකකරුවෙකු ලෙස එවක වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ අධිකාරී ලෙස කටයුතු කළ එමිල් රන්ජන් ළමාහේවා නමැත්තාද අත් අඩංගුවට ගත්තේය.

මේ දෙදෙනාම අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

2012 නොවැම්බර් 9 වෙනිදා මෙම අවාසනාවන්ත සිද්ධිය වූ අතර රංගජීව කලින් සැකසූ නම් ලැයිස්තුවක් රැගෙන බන්ධනාගාරයට පැමිණ සිරකරුවන් ඝාතනය සඳහා එකතු කළ බව ලංකා ඊ නිව්ස් හෙළිදරව් කෙළේ 2012 නොවැම්බර් 14 වෙනිදාය. එපමණක් නොව එම ඝාතක කණ්ඩායම මෙහෙයැවූයේ ගෝඨාභයගේ අණ පරිදි එහි පැමිණි එවක එස්ටීඑෆ් කොමඩාන් ඩීඅයිජී රණවනගේ ගෝලයා වූ ඒඑස්පී සිල්වෙස්ටර් බවද ලංකා ඊ නිව්ස් එදා හෙළි කෙළේය.

ඉන්පසුව නව ආණ්ඩුව පත් වීමෙන් පසු මේ සඳහා ත්‍රිපුද්ගල කොමිසමක් පත් කෙරුණු අතර රංගජීව එහි පැමිණ රැඳවියන් ඝාතනය සඳහා එකතු කළ බව කොමිසම හමුවේ ඇසින් දුටු පුද්ගලයන් කිහිප දෙනෙකුම සාක්කි දී තිබිණ. ඔහු නොවැම්බර් 9 වෙනිදා සිරකරු කැරැල්ල නිමා වී සන්සුන් වූවායින් පසුව සිවිල් ඇඳුමින් සැරුසුනු රංගජීව එහි පැමිණ නම් ලැයිස්තුවකට කැඳවූ සිරකරුවන් දණ ගස්වා ඝාතනය කළ බව ඇසින් දුටුවෝ පවසා තිබිණ. එමිල් රන්ජන් එම අවස්ථාවේ එහි සිටි බවද ඇසින් දුටුවෝ සාක්කි දුන්හ. රංගජීව ඝාතනය සඳහා පෙළ ගැස්වූ සිරකරුවන් අතර රාජපක්ෂලාගේ කඩු පිපාසාව සංසිඳවීම සඳහා කෝට්ටේ රජමහා විහාරයේ ඇතැයි විශ්වාස කළ සපුමල් කුමාරයාගේ කඩුව සොරකම් කරන්නට ගොස් එය වැරදීමෙන් පසු එහි හිමිවරුන් දෙදෙනෙකු ඝාතනය කළ හර්ෂ මංජු ශ්‍රී මනුකීර්ති නමැත්තාද විය. මංජු ශ්‍රී ඊලඟ නඩු වාරයේ දී තමාව කඩු සොරකම සඳහා යෙදැවූ හස්තය කවුදැයි හෙළිකිරීමට සිටි අයෙකි.

තවත් බොහෝ පිරිස් වූයේ රංගජීව විසින් බොරු මත්ද්‍රව්‍ය නඩු වලට පැටලැවූ මිනිසුන් ය. ඉන් සමහරුන් රංගජීවට විරුද්ධව මානව හිමිකම් නඩු පැවරීමට දින යොදා ගෙන සිටි අය ය. එවැනි එක් රැඳවියෙකු වූ කළු තුෂාර නමැත්තා කිසිදු කැරැල්ලකට සම්බන්ධ නොවූවෙකු වන අතර ඔහු බන්ධනාගාර සුබ සාධන ගොඩනැගිල්ලේ කන්තෝරු කාමරයේ සිටියදී රංගජීව පැමිණ රැගෙන යද්දී බන්ධනාගාර කොමසාරිස් කොඩිප්පිලි, මැගසින් බන්ධානාගාර අධිකාරී එමිල් රන්ජන්, වැලිකඩ බන්ධනාගාර අධිකාරී ගාමිනී ජයසිංහ යන තිදෙනාම හිඳ තිබේ.

“ අනේ රංගජීව මහත්තයෝ මාව මරන්න එපා“ යයි කළු තුෂාර කෑ ගසමින් වැළපෙද්දී ඔහුගේ දෑත් පිටුපසට කර නිල් පැහැති ලණුවකින් ගැට ගසා ඝාතනය කළ බව ඇසින් දුටුවෝ කොමිසම හමුවේ සාක්කි කියා ඇත.

මේ රැඳවියන් ඝාතනය කර එය සාධාරණය කිරීම පිණිස මළ සිරුරු අභියස තුවක්කු දමා පින්තූර ගෙන ප්‍රසිද්ධ කෙළේය. ලංකා ඊ නිව්ස් එකලදීම තුවක්කු නොමැති පින්තූර සහ තුවක්කු දැමීමෙන් පසුව ගත් පින්තූර ප්‍රසිද්ධ කෙළේය. අද වන විට රස පරීක්ෂක වාර්තා වලින් හෙළි වී ඇත්තේ එම ගිනි අවි වලින් උණ්ඩ පිටවීමක් සිදුව නැති බවත් එම ගිනි අවි කිසිවක රැඳවියන්ගේ ඇඟිලි සලකුණු නොමැති බවත් ය. මෙම ගිනි අවි දැමූ පුද්ගලයා අන් කිසිවෙක් නොව එමිල් රන්ජන් ය.

රැඳැවියන්ගේ කැරැල්ලේදී ආරක්ෂක අංශ සමග වෙඩි හුවමාරු කොට මිය ගිය පිරිසක්ද වෙති. මිය ගිය 27 දෙනාම අසරණයෝ නොවෙති. මිය ගිය වුන්ට වන්දි ලබා දීමේ දී 11 දෙනෙකුට වන්දි නොලැබුනේ එබැවිනි. නමුත් ඒ අතර සිද්ධිය දඩ මීමා කරගෙන තෝර තෝරා ඝාතනය කළ අසරණයන්ද වෙති. මොවුන් මේවා කෙළේ කාගේ වුවමනාවට ද? සාමාන්‍ය ගාඩ් කෙනෙකු වූ එමිල් රන්ජන් ඔය තනතුරට ඔසවා තැබුවේ ගෝඨාභය විසිනි. එවක එස්ටීඑෆ් එකට අණ දුන්නේ පොලිස්පති නොව ආරක්ෂක ලේකම් ගෝඨාභය ය. මේ තිරශ්චීන අපරාධයේ වගකීමෙන් ගෝඨාභයට කිසිදු ගැලවීමක් නැත.

කොමිෂන් වාර්තාව සීඅයිඩියට බාර දීමෙන් පසු මෙම අපරාධය ගැන පරීක්ෂණ පවත්වන එහි නිලධාරීහු සැකකරුවන් අත් අඩංගුවට ගැනීම රංගජීවගෙන් ආරම්භ කර තිබේ.

මෙහිදී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතැම් විනි-සොරුන්ගේ නින්දා සහගත හැසිරීමක් ද හෙළි විය. තමන්ට ඇති නඩු වලින් ගැලවීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අත් අඩංගුව ගැනීම වැළැක්වීමේ නියෝග ලබා ගැනීමට ගෝඨා සූරයෙකි. ඒ අනුව ගිය රංගජීවද තමන්ව අත් අඩංගුවට නොගන්නැයි නියෝගයක් ලබා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබිණ. නමුත් ගෝඨාට තිබෙන වරප්‍රසාදය රංගජීවට ලබා නොදුන් ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම විභාගයට නොගෙනම විසිකර තිබිණ. ඒ අනුව රංගජීව ඊයේ අත් අඩංගුවට ගත් අතර ඊට පසුව එමිල් රන්ජන්ව ද අත් අඩංගුවට ගත්තේ ය.

ලංකා ඊ නිව්ස් අද හෙළි කරන බොහෝ දෑ ද පිළිනොගෙන අප කියන්නේ බොරු යයි අවලාද නගන මිනිසුන් අප දැක තිබේ. සිරිසේන-මහාරාජා කල්ලියේ යුද නැව් ඩීල් එක ගැන අද අප කරන හෙළිදරව්ව ද එවැන්නකි. නමුත් 2012 දී අප හෙළිකළ සත්‍යයක්, සත්‍යයක් ලෙස සහතික වීමට වසර 5 ක් පමණ ගතවූ බව වැලිකඩ බන්ධනාගාර අපරාධයම සාක්කියකි. රංගජීව අපරාධකරුවෙකු බව එවක අප කියද්දී අනෙකුත් ජඩමාධ්‍ය සිටියේ රංගජීව යනු මත්ද්‍රව්‍ය නාශනයේ වීරයෙකු ලෙස සුදුහුණු තවරමිනි. එපමණක් නොව වනචර දශකයේ අපරාධකාරී ‘ගෝඩ් ෆාදර්‘ ගෝඨාභයව රටේ ජනාධිපති කිරීමට වලි කන්නේ ද එවැනිම ජඩමාධ්‍යකාරයන් ය.

‘තේරෙයි කල් යයි‘ කියන්නේ මේවාට ය.

-ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තාකරුවෙකු විසිනි-

මේ සම්බන්ධයෙන් 2012 නොවැම්බර් 14 දා අප ලියූ වාර්තාවක් පහතින් කියවන්න
වැලිකඩ බන්ධනාගාර ගැටුමට වගකිව යුතු නිලධාරියා කව්දැයි දන්නේ නෑ – ඇමැති ගජබින්නධීරගේ ‘බබා හුකුං’ -අවි ගබඩාවක් කඩා නැතැයි ජඩමාධ්‍යකාරයෝ දැන් කියති-
වැලිකඩ බන්ධනාගාර ගැටුමට වගකිව යුතු නිලධාරියා කව්දැයි දන්නේ නෑ – ඇමැති ගජබින්නධීරගේ ‘බබා හුකුං’——— අවි ගබඩාවක් කඩා නැතැයි ජඩමාධ්‍යකාරයෝ දැන් කියති-