මහරගම මගරහම

මහරගම නගර සභාවේ ඇතිවී ඇති දේශපාලන ව්‍යාකූලතාව සමහරු උපහාසයෙන් විග්‍රහ කරති. එහෙත් එහි ඇතිවී ඇති තත්ත්වය දෙස මම නම් බලන්නේ උත්ප්‍රාසයෙන් හා ධනාත්මක ලෙසිනි.

තමන්ගේ නාම යෝජනාව තාක්ෂණික කරුණක් මත නිෂ්ප්‍රභා කිරීමේ ප්‍රතිඵලය වූයේ රාජපක්ෂ දේශපාලනය විසින් ස්වාධීන කණ්ඩායමකට සහාය පළ කිරීමයි. ඊට අරමුණු දෙකක් තියෙන්නට ඇත. එකක් “මට නැත්නම් තොපිටත් නෑ” න්‍යායෙන් වැඩේ අංජ බජල් කර දැමීමයි. එහෙමත් නැත්නම් ස්වාධීන කණ්ඩායම දිනූ පසුව ඔවුන්ට ඉල්ලා අස්වන්නට සලස්වා තමන්ගේ අයගෙන් සභික ධූරයන් පිරවීමයි.

ස්වාධීන කණ්ඩායම ජයග්‍රහණය කළ පසුව ඔවුන්ට ඉල්ලා අස්වන්නට සලස්වා තමන්ගේ අයගෙන් සභික දූර පිරවීම එතරම් ප්‍රායෝගික නොවන බව අලුත් පළාත් පාලන පනත පවසයි. ඒ අනුව සිදුවන්නේ “මට නැත්නම් තොපිටත් නෑ” න්‍යායට අනුව වැඩ සිද්ධවීමයි.

පොල් ලෙල්ලක් ඉදිරිපත් කළත් ඒක ජයග්‍රහණය කරවීම මිනිසුන්ගේ වරදක් ලෙස මා දකින්නේ නැත. දහසක් පීඩනය මැද සිටින ජනතාව තුත්තිරි ගහත් දකින්නේ ගහල් ලෙස ය. එය ජනතාවගේ පැත්තෙන් සාධාරණය. ජනතාව මෙවැනි අබග්ගයන්ට තල්ලු කරන්නේ මිනිසුන්ගේ බලාපොරුත්තු කඩ කරවන දේශපාලන පක්ෂයන් ය.

අනෙක පොහොට්ටුවේ නාම යෝජනාව ප්‍රතික්ශේප වූයේ නාම යෝජනාවේ හරයාත්මක වැරදි කරුණක් මත නොවේ. එය තාක්ෂණික ගැටළුවකි. වඩා වැදගත් වන්නේ මහජනතාව වෙත පැවරී ඇති පරමාධිපත්‍ය බලයත් එය ප්‍රකාශ කරන ඡන්දය දීමේ අයිතියත් ය. එහෙත් ඒ මූලික අයිතීන් දෙකටම පස්ස පෙන්වමින් නාම යෝජනාව ප්‍රතික්ශේප කළේ ය. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා ඔවුන්ට සාධාරණය ඉටු නොවීය. අධිකරණය මේ රටේ මිනිස් අයිතිවාසිකම් හා මූලික අයිතීන්ට ගරු කරනවා නම් මේ ප්‍රශ්නයට වඩා ප්‍රශස්ත ලෙස මැදිහත් වන්නට ඉඩ තිබුණි. එසේ වූවා නම් එය අධිකරණයේ ගෞරවයට හේතු වන්නේ ය.

කෙසේ හෝ මේ නිසා රාජපක්ෂ දේශපාලනය විසින් එල්ල කළ ඇති අභියෝගය නිර්මාණශීලී ය. එම අභියෝගය නිසා වැරදි ක්‍රමය අර්බූදයකට තල්ලු වන්නේ ය. දැන් මහරගම නගර සභාවේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තේ බරපතල පටලැවිල්ලක ය. ඒ අර්බූදය නිර්මාණය කරමින් පවතින ක්‍රමයට අභියෝග කළේ රාජපක්ෂ දේශපාලනයයි. එය සවිඥාණිකව හෝ අවිඥාණිකව හෝ සිදු කරන්නට ඇතත් කෙසේ හෝ අන්තිමේ දී පවතින ක්‍රමය අර්බූදයකට තල්ලු කරන දේශපාලනයක් නිර්මාණය වී ඇත.

මෙවැනි නිර්මාණශීලී ක්‍රියාවක් ජනාධිපතිවරයා විසින් ද කරන ලදි. නීති විරෝධීව ශ්‍රිරාණි බණ්ඩාරනායකව අග විනිසුරු ධූරයෙන් ඉවත් කර වෙනත් අයකු පත් කිරීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණය පැවතුනේ අර්බූදයක ය. ජනාධිපතිවරයා ධූරයට පත්වූ පසුව කළේ එවකට අග්‍රවිනිශ්චයකාර ධූරය පුරප්පාඩුව පවතින සේ සලකා ශිරාණි බණ්ඩාරනායකව යළි පත් කිරීමයි. එය බැලූ බැල්මට නීත්‍යානුකූල නොවේ. එහෙත් නීත්‍යානුකූල අගවිසිනුරුවරයකු පත්ව නොසිටි නිසා ඒ ක්‍රියාවට වලංගුභාවයක් ඇති කෙරේ. එය නිර්මාණශීලීව ක්‍රමය අභියෝගයට ලක් කිරීමකි.

මෙවැනි දේශපාලන ක්‍රියාවන් කළ යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ විසින් යැයි මට සිතේ. එහෙත් එවැනි අවස්ථා එම පක්ෂය විසින් මගහැර ඇත. අගවිනිසුරුට දෝෂාභියෝගයක් ආ අවස්ථාවේ අධිකරණය විසින් අදාළ පාර්ලිමේන්තු කොමිටිය කැදවීය. එහෙත් ව්‍යවස්ථාදායකය අධිකරණයට යටත් නොවන න්‍යාය අනුව අවම වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ අධිකරණයට නොගොස් ක්‍රමයට අභියෝග කරන්නට තිබුණි. එහෙත් ඔවුන් ක්‍රමයට එකගව සිටියෝය.

පවතින ක්‍රමයට අභියෝග කිරීම විමුක්ති දේශපාලනයේ උපක්‍රමය විය යුතුය. එහෙත් ඒ අභියෝගය ද කරන්නේ ධනපතියන් විසිනි. මම එය සතුටින් විදිමි.