තැල්ලත් නෑ බෙල්ලත් නෑ

සියළු ආබග්ගයන්ට හේතු වූයේ යූඑන්පී තනි ආණ්ඩුවක් නොමැතිවීමය කීම බොර දියේ මාළු බාන්නට හදන තක්කඩින්ගේ අදහසකි. සමාජයට මේ ආණ්ඩුවට එරෙහිව රාජපක්ෂ කරා යොමු වූයේ මේ ආණ්ඩුවත් සමග වර්ධනය වූ වෛරය නිසා ය. ඒ වෛරය මදකින් හෝ සමනය වූයේ පක්ෂ දෙකකින් ආණ්ඩු කළ නිසා යම් යම් තුලනාත්මක පියවර ජනාධිපතිවරයා විසින් ගත් නිසා ය.

තනි ආණ්ඩුවක් පත් කර ගත් පළියට එක්සත් ජාතික පක්ෂයේ හරයාත්මක නොගැලපීම් ඉවත් නොවන්නේ ය. මූලික වශයෙන් නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණයන්ට එක්සත් ජාතික පක්ෂය ප්‍රවේශ වන උද්දච්ඡ හා අත්තනෝමතික ස්වරූපය තනි එජාප ආණ්ඩුවලින් තව තීව්‍ර වේ. පෞර්ෂයක් නොමැතිකම තවත් වර්ධනය වේ.

ආණ්ඩුව පරාදවීමට හේතු වූයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය ඒකකය හා යූඑන්පී මන්ත්‍රීවරුන් නිෂ්පාදනය කරන තක්කඩි අදහසක් වන යූඑන්පී තනි ආණ්ඩුවක් නොවීම නිසාය යන්න අමූලික බොරුවකි. වැරදි කළ රාජපක්ෂවරු හිරේට නොයැවීම, ජීවන වියදම පාලනය නොකිරීම, ගැමි ගොවියන්ට හා කම්කරුවන්ට ආර්ථික පීඩනයක් එල්ල වීමේ දී පිහිටක් නොවීම, විශාල ධනපතියන් හොරකම් කිරීම වැළැල්විමට පියවර නොගැනීම ආදිය සිදුවූයේ තනි යූඑන්පී ආණ්ඩුවක් නොතිබීම නිසා නොවේ. ආණ්ඩුව පැරදුනේ 2015 යහපාලන බලවේග බලාපොරුත්තු වූ දේශපලන ප්‍රතිසංස්කරණ ඉෂ්ඨ නොකිරීම නිසාත් ජීවත්විය හැකි ආර්ථික පරිසරයක් සකස් නොකිරීම නිසාත් ය.

ජනතාවගෙන් මූලික විරෝධය එල්ල වූයේ එක්සත් ජාතික පක්ෂයේ බලය අල්ලාගෙන සිටින රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු නව ලිබරල්වාදී ස්වරූපයටයි. මහින්ද රාජපක්ෂ ද නව ලිබරල්වාදය කර පින්නාගෙන සිටිය ද ඊට ඔහුටම ආවේනික ස්වරූපයක් තිබේ. එම ස්වරූපය ජනතාවට ඝෘජු පීඩනයක් එල්ල නොකරයි. එවැනි උපක්‍රමශීලී ප්‍රවේශයකට යන්නට රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය අපොහොසත් ය. එනිසා එම පාර්ශ්වය කළ යුත්තේ පසෙකට වීමයි.

නව ලිබරල්වාදයෙන් ඝෘජු පීඩාවන් ජනතාවට එල්ල නොවන වැඩපිළිවෙලක් සහිත යූඑන්පී නායකත්වයකින් රාජපක්ෂ ව්‍යාපෘතිය පැරදවිය හැකිය. ඒ සදහා යූඑන්පියේ ව්‍යුහාත්මක වෙනසක් විය යුතුය. තව දුරටත් රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය බලය දරා සිටී නම් තැල්ලත් බෙල්ලත් දෙකම අහිමි වන දිනය වැඩි ඈතක නොවේ.

පිලිප් ශාන්ත