ඔබ ගෙවන මුදලට සරිලන ප්‍රමාණයට ලංකාවෙ ෂෙඩ් වලින් තෙල් ලැබෙනවද.?

ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්තාවට අනුබද්ධ ඉන්ධන පිරවුම්හල් 1200 කට ආසන්න ප්‍රමාණයක් ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා තියනවා.ඉන් වැඩිම ඉන්ධනහල් ප්‍රමාණයක් පිහිටා තියෙන්නෙ බස්නාහිර පළාතේ.ඒකක වශයෙන් ගත්තොත් මේක පිරවුම්හල් 300 කට ආසන්න අගයක් ගන්නවා.ලංකාවෙ සමස්ථ තෙල් පරිභෝජනයෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් භාවිතා කරන්නෙ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව.හැබැයි පාරිභෝගික ජනතාව විදියට අපිට යම්කිසි ගැටළුවක් මේ සම්භන්ධයෙන් තිබෙනවා මොකද්ද ඒ ගැටළුව…?

ගැටළුව තමයි අපි ගෙවන මුදලට සරිලන ඉන්ධන ප්‍රමාණයක් අපිට පිරවුම්හලෙන් ලැබෙනවද කියන එක.මේ ප්‍රශ්ණයට අහඹුවෙන් දහදෙනෙක් තෝරාගෙනපි මේ ගැටළුව එයාලට යොමු කළොත් එතැන් නව දෙනෙක්ම කියන්නෙ ෂෙඩ් වල ඉන්නෙ හොරු කියලා..ඇත්තටම ඇයි එයාලා එහෙම කියන්න පෙළඹිලා ඉන්නෙ.? මේකට වගකියන්න ඕන කවුද ?
ඇයි පාරිභෝගික ජනතාව විදියට එක එකාට නිකරුණේ සල්ලි වියදම් කරන්න වෙලා තියෙන්නෙ ? කවුද මේකෙ වගකීම බාර ගන්නෙ ?

මේ සම්හන්ධ සම්පූර්ණ වගකීමෙන් කොටසක් යන්නෙ මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවට.කොටින්ම කියන්ව නම් කිරුම් මිණුම් එකට.අනික් කොටස යන්නෙ ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙ ප්‍රාදේශීය කාර්යාල , එහෙමත් නැත්නම් Regional office එකට.මොකද ප්‍රාදේශීය මට්ටමෙන් තියන ඉන්ධන පිරවුම්හල් වගකියන්න ඕන අදාල ප්‍රාදේශීය කාර්‍යාල වලට නිසාවෙන්..ලංකාවෙ හැම ඉන්ධන පිරවුම්හලකටම ගෙන්වන පොම්පයක්ම නිසි ප්‍රමිතියට තියනවද කියලා සහතිකයක් ලබා දෙන්න ඕන ඉහතින් කී කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව මඟින්.ඒකට කියන්නෙ මාදිලි අනුමැතිය කියලා.කොටින්ම කියනවනම් කිරුම් මිණුම් දෙපාර්තමේන්තුවෙ සීල් එක නැතුව කිසිම පොම්පයකින් තෙල් නිකුත් කරන්න කාටවත් අවසරයක් නෑ.ඒක නීතිවිරෝධියි.නමුත් අද වෙනකොට මේක හැම ඉන්ධනහලකම සිද්ධ වෙනවද….?

පිළිතුර තමයි නැහැ කියන එක.මොකද 2002 දි , එවකට තිබුණ ආණ්ඩුව හරි ෂෝක් ප්‍රතිපත්තියක් ගෙනැල්ලා, තෙල් වල ඒකාධිකාරී බලයෙන් හරි අඩක් ඉන්දියන් ඔයිල් සමාගමට ( Indian Oil Corporation ) පැවරුවා.මෙකෙන් වුණේ ලංකාව වටේම තිබුණ හොඳම ලාබ ලබපු පිරවුම්හල් ටික සින්නක්කරේටම එයාලට අයිති වෙච්ච එක.එයාල එහෙම කරලා නැවතුණේ නැහැ.ඒ පිරවුම්හල් වල මිනිස්සු අල්ල ගන්න කියලා හිතාගෙන අලුත්ම පොම්ප ගෙනැල්ලා ඒවයෙ නොමිලේම සවිකළා..මේකෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉමහත් ලැජ්ජාවට පත් වුණා.එයාලා කලේ හොඳ කොමිෂන් කුට්ටියක් තියාගෙන ඊට නොදෙවනි පොම්ප ටිකක් චීනෙන් ගෙන්නලා අපේ ෂෙඩ් වලට සවිකරපු එක.හැබැයි ඒවා හරියට අපේ ළමයි සෙල්ලම් කරන සෙල්ලම්බඩු වගේ..පෙනුමට තියනවා.ඇතුල ගන්න දෙයක් නෑ.ඔන්න අපේ අයියලගෙ වැඩ කෑල්ල..හැබැයි අපේ අය සවි කරපු බාල චයිනීස් පොම්ප එකක්වත් කලබලේ වැඩිකමටම කිරුම් මිණුම් දෙපාර්තමේන්තුවෙ අනුමැතියට දැම්මෙ නෑ..කොටින්ම මේවයින් වැඩි ප්‍රතිශතයක් සීල් කරලා නෑ..වැට පණින මිනිහට ඉණිමං බැන්ද වගේ මේකෙන් ප්‍රයෝජන ගත්තේ ඉන්ධන පිරවුම්හලේ අයිතිකාරයා , එහෙමත් නැත්නම් කළමණාකාරවරයා.මොකද සීල් තිබුණ ඒවත් පරීක්ෂා කරද්දි කැඩුනම, ආයෙ නැවත සීල් කළේ නෑ.මොකද ඒකට අවශ්‍ය නිළදාරීන් සංස්ථාව ඇතුලෙ හිටියෙ ටිකදෙනයි..එක්කො ඒ අයට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් තිබුණෙ නෑ.එතකොට කොහොමද මෙයාල ජාවාරම කරන්නෙ ?

මෙන්න මෙහෙමයි.මේ මහා පරිමාණ ජාවාරම සිදු වෙන්නෙ ඉන්ධන පිරවුම් හලේ අයිතිකාරයගෙ / එහෙමත් නැත්නම් කළමණාකාරවරයගෙ අනුදැනුම මත.මේකට තෙල් සංස්ථාවෙ ප්‍රාදේශීය කළමණාකාරවරයාගෙ සහ ප්‍රාදේශීය පරීක්ෂකගෙ දායකත්වයත් ලැබෙනවා.කොටින්ම කියනවනම් මේ ජාවාරම එක දම්වැලක පුරුක් වගේ.එයාල ඒක කරන්නෙ මෙහෙමයි.ඔය අපි එදිනෙදා දකින තෙල් පොම්පෙ කොටසක් තියනවා ප්‍රමාණ ශෝදන ඒකකය ( Calibrater ) කියලා එකක්..ඒකෙන් තමයි අවශ්‍ය ගාණට පොම්පයෙන් නිකුත් වන තෙල් ප්‍රමාණය පිළිඹඳව මිනුම සකසන්නෙ.මේක අවශ්‍ය ප්‍රමාණයට අඩුවැඩි කරගන්න පුළුවන්.

මේක කොච්චර දරුණුද කියනව නම් ඉන්ධන ලීටර් 8 ක් ගහනකොට මීටරේ 10 ක් පෙන්වන්න මේක එයාලට හදන්න පුලුවන්.ඒ නිසා තමයි අදාල ප්‍රමාණ ශෝදන ඒකකය (Calibrater) එක සීල් කරන්නෙ.ඒත් කිරුම් මිණුම් දෙපාර්තමේන්තුවෙ වගකීම් විරහිත ස්වභාවය නිසාත්, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙ අකාර්යක්ෂම පාලනය නිසාත්, අද වෙනකොට මේකෙ අලාභය විඳින්නෙ පාරිභෝගික ජනතාව..ලංකාව අවට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවට අයත් ප්‍රාදේශීය කාර්යාල 09 ක් තියනවා.මේවයේ ඉහළ වැටුපකට ප්‍රාදේශීය කළමණාකාරවරුන් 09 දෙනෙක් සේවය කරනවා.එයාලගෙ වැඩ පහසු වෙන්න හැම කාර්‍යාලයකම සහය කළමණාකාරවරුන් දෙදෙනෙක් බැගිනුත් ඉන්නවා.ඒත් මේක වෙන්නෙ කොහොමද ?

තිරෙන් පිටුපස නාටකය මේකයි..සමහර ඉන්ධන පිරවුම්හල්වල කළමනාකරුට/ අයිතිකරුට සිද්ධ වෙනවා මෙකී අදාල ප්‍රාදේශිය කළමණාකාරවරයාව සතුටු කරන්න.ඒක එක්තරා ආකාරයක සංතෝශමක් නැත්නම් අල්ලසක් විදියටත් හැඳින්වුවට කමක් නෑ..යම් පිරවුම්හලක් සම්භන්ධයෙන් ගණුදෙණුකාර භවතෙක්ගෙන් පැමිණිල්ලක් ආවොත් වෙන්නෙ, පොම්පය පරීක්ෂා කරන්න පැමිණෙන්න කලින් අදාල පිරවුම්හලට ඇමතුමක් ලැබෙන එක.මොකද මේ බඩජහරි කෑම පිඟාන වටේටම ඉන්නෙ වගකිවයුතු ලොක්කො සෙට් එක නිසා.පිඟාන බිඳුණොත් කාටවත් කෑම නැති වෙනවා.ඒ නිසා මේ අය දිවිහිමියෙන් කෑම පිඟාන රකිනවා.

ඉන්ධනහළකින් ඉන්ධන අඩුවෙන් නිකුත් වුණා කියලා කාටහරි හිතෙනව නම් ඒ ගැන පරීක්ෂා කරලා බලන්න සෑම ඉන්ධන පිරවුම්හලකම සම්මත මිණුම් ඒකකයක් තියනවා.ඒකට හරියට පුනීලයක් අනික්පසට හැරෙව්වම එන හැඩය තියන ලෝහ වලින් හදපු උපකරණයක්.මේක පිරවුම්හල් වල තියනවා ඔයාලා දැකලත් ඇති.ඒකෙන් හරියටම ලීටර් පහක් මණින්න පුළුවන්.ඒකට කියන්නෙ පරීක්ෂණ බූලිය ( Testing Can ) කියලා.ඒකෙ උඩට හෝ පහළට වාසියක් විදියට තියන්න පුළුවන් ලීටර 0.25 ක් විතරයි.නමුත් අද ගොඩාක් පිරවුම්හල් වල කරන්නෙ මේ Testing Can එකේ අඩියට ගහලා ඒක ඇතුල් පැත්තට පුම්බන එක.එහෙම කරලත් සම්මත මිණුම් ඒකක අභිබවා යමින් උඩට හෝ පහළට ලීටරයක් දක්වා වාසියක් මෙයාලා තියාගන්නවා.

2002 වසරෙදී චීනයෙන් පොම්ප ගෙන්වනකොට මේව ගෙන්නුවෙ වසර 05 ක කාලයකට වුණාට දැන් ඒ අතරෙ තියන සමහර පොම්ප වලට වසර 15 කුත් වෙලා.ඉතින් ඒකෙන්ම පොම්ප වල කාර්‍ය්ක්ෂමතාවය හිතාගන්න පුලුවන් වෙයි.පැහැදිලිවම පොම්පය පරණ නිසාම ඉන්ධන අඩුවෙන් පාරිභෝගිකයන්ට ලැබෙන්නෙ.මේ සම්භන්ධයෙන් අමාත්‍යාංශයට පැමිණිළි කොච්චර ලැබුණත් පෙර කී ජාවාරම නිසා මේ හැම දෙයක්ම යට ගැහෙනවා.මේ සම්භන්ධයෙන් 2014 දි හිටපු කළමණාකාර අධ්‍යක්ෂවරයා කඩිනම් ක්‍රියාමාර්ගයක් අරගත්තා.ඔහු ඒ සඳහා වෙනම කමිටුවක් පවා පත්කළා.ඔහු කළේ අහඹුලෙස විශේෂ විමර්ෂණයක් සිදුකර පොම්ප 495 ක් පරීක්ෂා කිරීම.එයින් පසු ඔහු ඒ හරහා වාර්තාවක් සකස් කරලා අමාත්‍යවරයා වෙත බාරදුන්නා.එයින් කියවුණේ පරීක්ෂා කළ පොම්ප අතුරින් 40% ක්ම අඩුවෙන් තෙල් නිකුත් කරන ඒවා කියලා.කොහොමද ගැහිල්ල …..?

කොහොමහරි කිරුම් මිණුම් දෙපාර්තමේන්තුව මෙ ගැන දැණුවත් වෙලා ඛණිජතෙල් නීතිගත සංස්තාවට වහාම ලියමනක් එව්වා.ඒකෙන් කියවුණේ අදාල සීල් එක නැති සියලුම පොම්ප පරීක්ෂා කර, ඒ වෙනුවට අලුත් පොම්ප සවිකරන්න කියලයි.වහාම ඛණිජතෙල් සංස්ථාව සහ අමාත්‍යාංශය සාකච්ඡා කරලා පොම්ප 500 ක් ලංකාවට ගෙන්වන්න සැළසුම් කළත් , මේ ආණ්ඩුවෙ ප්‍රභලයෙකුට පොම්ප ගෙන්වන්න ඕන වුණ නිසා ඒ වැඩෙත් අතරමඟ නතරවෙලා පාරිභෝගික ජනතාව නන්නත්තාර වුණා.1995 අංක 35 දරන මිණුම් ඒකක සේවාකරණ හා ප්‍රමිතිකරණ පණතේ 22 වගන්තිය යටතේ පොම්ප පරීක්ෂා කර බලා සීල් කිරීමේ වගකීම පැවරෙන්නෙ කිරුම් මිණුම් දෙපාර්තමේන්තුවෙ නිළදාරීන්ට.මේ සඳහා ඛණිජතෙල් නිළධාරීන්ට කිසිම නෛතික බලයක් නැහැ.

එහෙත් වෙන්නෙ මේකයි.තමන්ට නැති බලයක් ආරෝපණය කරගනිමින් ඛණිජතෙල් සංස්තාවෙ නිළධාරීන් අදාල පොම්ප පරීක්ෂා කරන මුවාවෙන් පොම්ප වල මුදාව කඩනවා.අන්න ඊළඟට තමයි අදාල කේත අංකන වෙනස් කරලා මේ ජාවාරම ආරම්භ කරන්නෙ…සෙල්ලම දැන්වත් තේරුණාද ? මෙ සඳහා වහාම කඩිනම් ක්‍රියාත්මක ගන්න කියලා අදාල බළදාරීන්ගෙන් මම ඉල්ලීමක් කරනවා.ඒ වගේම කිසියම් ලොම්පයක මුද්‍රාව කඩනව නම්, එයට දෙපාර්ශවයම ඉන්න ඕනෑ කරන ලෙස අණපණත් වෙනස් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.මොකද මෙයාලගෙන් යම් කොට්ඨාසයක් මේ පිල්ලි ගහන්නෙ අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි නිසා..මේ පිළිඹඳව ඔබ ක්‍රියාමාර්ග ගන්නා තෙක් මා අවදියෙන්..

කාවින්ද ගමගේ