හොරකම ජීවන මගක්?

ධනපතියන් විසින් සිදු කරන මූල්‍ය අක්‍රමිකතා මූල්‍ය සමුච්ඡකරණයට හේතු වන බව ඇත්තකි. ආයෝජනය නොකර මුදල් ගොඩ ගසාගෙන සිටීම මූල්‍ය සමුච්ඡකරණයේ ප්‍රබලම වරදයි.

එහෙත් ගම් මට්ටමින් සිදුවන මූල්‍ය අක්‍රමිකතා හා හොරකම් එලෙස මූල්‍ය සමුච්ඡකරණයට ගොදුරු වන්නේ අවම වශයෙනි. එලෙස සොරකම් කරන මුදල් බොහොමයක් නැවත වෙළෙද පළ තුලට පැමිණේ. එවිට ගමේ මූල්‍ය වෙළෙද පළ ශක්තිමත්වීමටත් මූල්‍ය ගලනය පවත්වාගෙන යෑමටත් එය රුකුල් වේ.

ධනපතියන්ගේත් සුළු ධනපතියන්ගේත් මූල්‍ය අක්‍රමිකතා හා හොරකම එකම වුවද ඒවා වෙළෙද පළට කරන බලපැම එකිනෙකට වෙනස් වේ. මැද පාන්තිකයන්ගේ හොරකම් ග්‍රාමීය සමාජය ප්‍රාග්ධනීකරණයට හේතුවකි. ඒ අනුව ධනපතියන්ගේ හොරකම් තුළින් සමුච්ඡකරණයට ලක් කරන ප්‍රාග්ධනයට එරෙහි වන ලෙස ගමේ සිදුවන හොරකම් වලට එරෙහිවීමට තරම් විමුක්ති ව්‍යාපාරයක් ඉක්මන් විය යුතු නැත.

ජනතා විමුක්ති පෙරමුණ දූෂණ, වංචා, අක්‍රමිකතා හා හොරකම් දේශපාලනිකව විග්‍රහ කර නොගත්තේ ය. එනිසා සියළු හොරකමට එරෙහිව ජන බලයක් ගොඩනගන්නට කටයුතු කළේ ය. කළු ආර්ථිකය 60%ක් පමණ වන ශ්‍රී ලංකාවේ සමාජය ජනතා විමුක්ති පෙරමුණේ සටන් පාඨයට බය ය. බය වන්නේ ජවිපෙ බලයට පත්වුවහොත් තමන්ගේ ජීවන මාර්ගය අහිමි වේ යැයි බියෙනි. ඒ බියට සාධාරණ හේතු පවතී.

පිලිප් ශාන්ත