රාජ්‍ය මාධ්‍ය හා කසාය බිව් ගොළුවන්

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග එතෙක් රාජපක්ෂ විරෝධී දේශපාලනයක සිටි සමහරුන්ට රාජ්‍ය මාධ්‍යයන් තුළ තනතුරු ලැබුණි. ඔවුහු ඒවායේ වරප්‍රසාද ලබමින් සමාජ ජීවිතය ශක්තිමත් කර ගත්හ. නොකඩවා පිටරටවල සංචාරයේ යෙදුණි. වැඩි පඩි ලබාගත්හ. අලුත් වාහන වල ගියහ.

නමුත් මාධ්‍ය ආයතනයන් පවත්වාගෙන ගියේ දේශපාලන, ආර්ථික හා සමාජීය සාකච්ඡා මණ්ඩප හරහා මත නිෂ්පාදනය කිරීමට නොවේ. ඒ අවස්ථාවන් මුළුමනින්ම පාහේ යෙදවූයේ අදේශපාලනික ළිද ළග සංගම් සදහා ය. මැතිවරණ සමය තුළ ස්වාධීන රූපවාහිනිය විසින් බැසිල් රාජපක්ෂ ගෙන්වා ඩෑෂ් ගැසීමට බෝල උස්සාදීමේ අවස්ථාව කදිම උදාහරණයකි.

එසේත් නැත්නම් රාජපක්ෂගේ අන්තේවාසිකයන්ව සිට තම බඩ වඩා ගැනීම සදහා මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ ඔසොවා තබමින් තක්කඩි ලෙස ආණ්ඩුවට එක්වූවන්ට ඒවායේ අවස්ථාව ලබාදුනි. ඔවුන් සිදු කළේ ආණ්ඩුව දේශපාලනිකව විවේචනය කිරීම නොව ආණ්ඩුවේ බිත්තිවල සුදු හුණු ගෑම ය. ඒ නිසා සියල්ල ලස්සන චිත්‍රයක් ලෙස දැකීමටත් “යස් සර්” කීමටත් ඔවුහු නොපැකිළුණි.

රජයේ මාධ්‍යයන්ට ගැඹුරු දේශපාලන දැක්මක් නොවුණි. ඔවුන් කල්පනා කළේ තමන්ට දේශපාලනය කිරීම අකැප බව ය. ඒ නිසා ආගමික හා විනෝදාස්වාදී දෑ වලට ප්‍රමුඛස්ථානය ලබාදුනි. එසේ ලබා දී කරදරකින් තොරව වරප්‍රසාදයන් භුක්ති විදීමට ඔවුහු කටයුතු කළහ.

ආණ්ඩුව යහපාලන මූලධර්මයන් කඩකරද්දීත් නොදැකූ නෙතින් හා නොඇසූ කණෙන් සිටියේ තමන් ලබන වරදානයන්ට බලපෑමක් වේයැයි බියෙනි. දැන් ඒ තීරණාත්මක අවස්ථාව එළඹ ඇත. ආණ්ඩුව අන්ත පරාජයක් ලබා ඇත. ආණ්ඩුව බිද වැටෙන තරමට දේශපාලන අර්බූදය උග්‍ර වුවහොත් තමන් ලබන වරදානයන් පමණක් නොව රැකියාවන් ද අහිමි වන්නේ ය.

පිලිප් ශාන්ත