රාවයේ අර්බූදය හා දැනුමේ දුප්පත්කම

රාවය ගැන විශාල කතාබහක් කොළඹ අගනාගරික සිවිල් අවකාශයේ මතුවෙලා. එහිදී වික්ටර් අයිවන් හෝ උවිදු හෝ කියන දේවලට සමාජ හයියක් ලැබෙන්නෙ නැත්තෙ මිනිස්සුන්ට ඕන “රාවය” මිසක් පෞද්ගලික හැසිරීම් වල චලනයන් නොවන නිසා වෙන්න ඇති. නමුත් එමගින් කියන්නෙ නෑ ඒ දෙපාර්ශ්වය කියන අදහස් වැඩක් නෑ කියන එක. විශේෂයෙන් උවිදුගෙ අදහස් වැදගත්. ඒත් ඒවට සමාජ බලයක් ගොඩනැගෙන්නෙ නැත්තෙ සිවිල් ව්‍යාපාරයන් වල නෛසර්ගික ප්‍රශ්නයක් නිසා කියලයි මට හිතෙන්නෙ.

රාවයත් එක්ක මට තියෙන්නෙ සංස්කෘතික බැදීමක්. මගෙ ජීවිතය ගොඩනැගුනෙ රාවයත් එක්ක. විශේෂයෙන් රාවය කියවන්න මා පෙළඹුනේ පොඩිම පොඩි කාලෙ පටන්. ඒ නිසා මගෙ ලේඛණ ජීවිතය වගේම පෞර්ෂයත් ගොඩනැගුනෙ රාවයේ භාවිත සංස්කෘතිය මගින්.

ඒ කාලෙ රාවය හොයාගෙන ගිය හැටි තවමත් මතකයි. ඇල්පිටියෙ, කුරුදුගහහැතැක්මෙ, අම්බලන්ගොඩ නගරවල පත්තර කඩ පුරා ඇවිද්දෙ එය නොකියවා නින්ද නොයන නිසයි. පිට පළාත් වල ගියවිටත් රාවය කියවීමෙ උණ නිසා විදි කරදර අපමණයි.

පසු කාලයක රාවය පේලී අතරින් කියවන්න පෙළඹුනේ රාවයේ කොලිටිය ක්‍රමයෙන් බැස්ස නිසයි. මේ වනවිට රාවය මිලට ගත්තත් කියවන්නෙ එහෙමත් ආර්ටිකල් එකක් තමයි. අනෙක් සිංහල පත්තර වල වගේම කියවා ගත යුත්තක් නොවීම ඊට හේතුවක්. ගොඩක් ලිපි මගේ පවතින දැනුමට වඩා ඉතා පහළ බැවින් ඒවා කියවා තේරුමක් නෑ.

මම හිතන්නෙ රාවයේ යුගය දැන් අවසන්. ඒ නිසා කවුරු මොනව කිව්වත් රාවයේ පරිච්ඡේදය අවසන් විය යුතුයි. එය බලෙන් විවෘතව තබා ගැනීමට යමෙක් උත්සාහ කරත් එමගින් සමාජ ප්‍රගමනයට කිසිම දායකත්වයක් දරන්නේ නෑ. දැන් වික්ටර් අයිවන්ගේ යුගය නෙවෙයි. ජනරංජනගේ යුගය අවස්න් වෙමින් පවතින්නක්. ඔවුන් දෙදෙනාටම මෙන්ම ඔවුන්ගේ දායක සභාවේ නෝනා මහත්වරුන්ටත් රාවය ගොඩ ගන්න බෑ. රාවයට අවශ්‍ය වන්නේ දැනුම් විප්ලවයක්.

වික්ටර් අයිවන්ගේ කල්ල කපටි තුප්පයිකම් නිසා රාවය අවරට යන බව උවිදු කියන්න හැදුවත් රාවය ඇත්තටම දියවෙමින් පවතින්නේ රාවයේ අවකාශය තුළ අලුත් දැනුම නොමැති නිසයි. තවමත් රාවයේ සාමාජිකයන් කර ගබ ගෙන යන්නේ අනූව දශකයේ දැනුම් පද්ධතියක්. අදට අවශ්‍ය දැනුම් පද්ධතියකින් පෝෂණය වන්නට තරම් රාවයේ ධාරිතාව ප්‍රමාණවත් නෑ. එනිසා අභ්‍යන්තර කුමන්ත්‍රණ මගින් බිදවැටීම් වෙමින් රාවය තවදුරටත් පවතින්නෙ පරණ වමේ පක්ෂයක් වගෙයි.

රාවයේ ජනමාධ්‍ය අවකාශයට නව දැනුම එන්නට නම් විශාල බුද්ධිමය හා සංස්කෘතික විප්ලවයක් වෙන්න ඕන. ඒත් ඒ තරමට රාවයේ කාර්ය මණ්ඩලය මුහුකුරා ගොස් නෑ. එබැවින් අප වගේ අයට කියවන්නට කිසිම දෙයක් නැති ආටෝපයට මොනවා හෝ ලියා පළ කරන රාවයක් පවතීවි. මේ තරමට හෝ රාවය පවතින්නෙ කොළඹ අතරමැදි පන්තියේ සිවිල් ජන පිරිසක් රාවය වටා ඉන්නා නිසයි.

රාවය කළ කාර්යභාරය විශිෂ්ඨයි. අනගිභවනීයයි. ඒත් යුගයක අවසානයක්, කළ කාර්යභාරයෙන් අහෝසි කරන්න බෑ. රාවයටත් අද එල්ල වී ඇත්තේ එවැනි තර්ජනයක්. රාවය තම ඓතිහාසික කාර්යභාරය අවසන් කර මේ මොහොතේ උත්සාහ ගන්නේ මිහිදන් වන්නටයි. නාමමාත්‍රික පැවැත්ම සනිටුහන් කරමින් මොකක් හෝ රාවයක් එළියට ඒම තව කලක් පවතීවී. ඒත් ඒ මුල් කාලයේ දී අප ඇසුරු කළ රාවය නෙවෙයි.

වික්ටර් අයිවන්වත් උවිදුවත් රාවය සම්බන්ධයෙන් මෙවැනි ප්‍රවේශයක් ගැන උනන්දු නොවීමත් රාවයේම අනන්‍ය කරුණක් විය හැකියි.

කේ.ජී. පිලිප් ශාන්ත