ලැජ්ජා නැති සිංහලයන්

ඊයේ සවස ෆේස්බුක් පෙරලන විට මගේ බැචෙකු එවූ පණිවුඩයක් විවර උනා. කවදාවත් ෆේස්බුක් එකෙන් පණිවුඩ එවා නොතිබුන මේ බැචා මේ එවා ඇත්තේ කුමක්දැයි බලනවිට ඡායාරූපයේ සදහන් ලිපිය දුටුවා. එය කියවාගෙන යනවිටම මේක මොන බොරුවක්දැයි මගෙ යටි සිත තර්ක කළා.

ශ්‍රී ලංකාව තවමත් වහල් බව ඇත්ත. සිංහලයා මිලේඡ ජාතියක් බවට පත් කරමින් බටහිර මිලිටරිමය උපදෙස් මත යුද්දයක් දියත් කර තමන්ගේම රටවැසියන් ඝාතනය කිරීමත් ඒ වහල්කමේ ප්‍රථිඵලයක්. විදේශ පුරවැසිභාවයන් තබා ගනිමින්ම මෙරටේ තනතුරු දරන්නෙත් ඒ වහල්කම නිසාමයි. ඒ ගැන තර්ක කර වැඩක් නෑ. ඒත් මේ ලිපිය බොරුවක්.

එහි සදහන් උපදෙස් වලින් මෙන්ම එය සිංහලෙන් සකස් කර තීබීමෙන් ද ඊනියා තාවකාලික කමිටුවකට ලිපි ශීර්ෂ සාදා නොහදුනන නිලධාරියකු එය අත්සන් කර තිබීමෙන් ද මේ කූට ලේඛනයක් බව ඉතා පැහැදිලියි. එය කියවා පුවත් පත් බැලී සැනෙන් මා දුටුවේ විදේශ අමාත්‍යංශයත් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයත් එය ප්‍රතික්ශේප කර ඇති බවයි.

එංගලන්ත රජ පවුලට ගෞරව කරන අන්දම සදහන් කූට ලේඛනය සකස් කරන්නට ඇත්තේ ලංකාවේ රජ පවුලට කඩේ යන හෙන්චයියකු බව නොරහසක්. ඒත් බාල බොළදකම සියල්ල ඉහ වහා යන නිසා හැරෙන කොට මේ රජ පවුලේ එකෙක් බව හදුනා ගත හැකියි.

මගේ බැචා සිංහලකම ගැන උනන්දු අයෙක්. ලංකාවේ සිංහලකම පදනම් වී ඇත්තේ මෙවැනි බොළද වැඩ එක්කවීම කනගාටුවට කරුණක්. සිංහලකම ගැන උනන්දුවීම හොද ලක්ෂණයක්. එහෙත් එය පදනම් විය යුත්තෙ සිංහලයාට ඇති අදීන අනන්‍යතාව මතයි. මලලසේකර, අධිකාරම්, කුමාරතුංග පරපුරේ සිංහලයන් වන්නට මේ කල්ලතෝනි වැඩ වලින් බෑ. මා සිතන්නේ සිංහලකම මේ බොරුව මත පදනම් වී ඇත්තේත් වහල්කමේ ප්‍රතිඵලයක් ලෙසයි.

අප අදීන සිංහලයන් නම් අප පදනම් විය යුත්තේ මලලසේකර, අධිකාරම් හා කුමාරතුංග පරපුරේ කැපවීම් මතයි.