පතී විමුක්තිකාමියෙක්

ධර්මසේන පතිරාජයන් ගැන මා අසා දැන ගත්තේ කුඩා කලමය. එහෙත් ඔහුව දේශපාලනිකව කියවා ගත්තේ “රාවය” කියවන්නට කුඩා කලම යොමුවීමෙනි. පසුව පොත පතින් ද ඔහුව කියවා ගතිමි.

පසුව ආචාර්ය ධර්මසේන පතිරාජයන්ව පියවි දෙනෙතින් දැක ඔහුගේ භාවිතාව තේරුම් ගන්නට පුළුවන් වුයේ ඔහු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ උපදේශකයකු ලෙස පත්වී රජයේ චිත්‍රපට අංශය මෙහේයවීමට පටන් ගත් පසුව ය. එහෙත් එහි පැවැති යාන්ත්‍රණය ඔහුව ජව සම්පන්න නිර්මාණශීලියකු බවට පත් නොකළේ ය.

එහෙත් ආචාර්ය පතිරාජ සමාජයට කළ දායකත්වය නිහඩ කිරීමට කිසිවකුට හැකි නොවීය. ඔහු ලැබෙන සෑම අවස්ථාවෙන්ම සමාජ ගත කළේ ගැඹුරු අදහසක් ඇති නිර්මාණයකි.කලෙකින් ඔහුව දකින්නට නොහැකි වුවත් පසුගියදා යාපනය විශ්ව විද්‍යාලයේ උත්සවයකට සහභාගී වී ඇගයීමකට ලක්වෙනු රූපවාහිනියෙන් දැක සතුටු වූයෙමි.

ආචාර්ය ධර්මසේන පතිරාජ මියගොස් ඇති බවත් ඔහුගේ අවසන් කැමැත්ත පරිදි දේහය අද හවසම භූමදානය කරන බවත් ඊට කිසිම ආගමික වතාවතක් සිදු නොකරන බවත් දැන ගන්නට ලැබිමි. පළමුව කම්පනයට ද දෙවනුව නිරාමිස සතුටකට ද පත්වීමි. කම්පනය විසල් රුකක් ඇද වැටීම නිසා ය. නිරාමිස සතුට මරණයේ දී පවා ඔහු විමුක්ති මාර්ගයේ ගමන් කරන්නකු වූ නිසාය.

මරණයේ දී චාම්ව එය කරන අන්දමක් මා දුටුවේ රේරුකාණේ චන්දවිමල හිමිගේ මරණයේ දී උන් වහන්සේගේ අවසන් කැමැත්ත මත උන් වහන්සේ මිය ගිය සයනයටම දර තබා ගිනි තැබීමෙන් අවසන් කටයුතු කළ සිදුවීමයි. ඉන් පසුව කෙනෙක් මියගිය පසුව හැකි ඉක්මනින් භ්හ්මුදානය කළ අවස්ථා අසා ඇත. මෑතක දී එවැන්නක් ඇසුවේ දඹදෙණිය හිටපු මන්ත්‍රී යාපනය දිසා ඇමති, අමාත්‍යවරයකු වූ යූ. බී. විජේකෝන් මිය ගිය අවස්ථාවේ දී ය. ඔහුගේ අවසන් කැමැත්ත පරිදි දේහය පැය කිහිපයක දී වෛද්‍ය විද්‍යාලයට භාර දුනි.

චන්දවිමල හිමිගේ හා යූ.බී. විජේකෝන්ගේ දේහයේ අවසන් කටයුතු චාම් වන්නට ඇත්තේ ආගමික පදනමිනි. නැත්නම් බෞද්ධ දර්ශනයට අනුව ය. ජීවිතයක අල්පේඡතාව අගයන දහමක භාවිතාවේ යෙදෙන්නන් මරණය උත්සවයක් වනවාට රිසි නොවන්නට ඇත. එහෙත් ආචාරය පතිරාජ තම මරණය උත්සවයක් නොවන්නට මෙන්ම ආගමික වතාවත්ව් අලින් තොර වන්නට තීරණය කරන්නට ඇත්තේ ඔහුගේ දේශපාලන භාවිතාව අනුවය. එය අගය කළ යුත්තකි.

රාජ්‍ය නායකයකුගේ මළ ගෙදර ග්‍රාම්‍ය, බොළද එකක් වූවානම් ඒ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ මළගම විය යුතුය. ඊට හේතු වන්නට ඇත්තේ ඔහුගේ මැද පාන්තික පදනමයි. නමුත් ධනපති හෝ පීඩිත හෝ පන්ති පදනමකින් සැලකූ විට මරණය යන්න උපේක්ෂා සහගතව බලන සංසිද්ධියකි. එය දරා ගන්නට නොහැකි වන්නේ මැද පන්තියට ය.

කුමන පදනමකින් වුවද ධනපති පන්තිය හෝ පීඩිත පන්තිය හෝ මරණය උපේක්ෂා සහගතව දැකීම අගය කළ යුත්තකි. ආචාර්ය පතිරාජ මාක්ස්වාදී දර්ශනයේ භෞතිකවාදී පදනමින් මරණය උපේක්ෂා සහගතව දැක තිබේ.

ආචාර්ය ධර්මසේන පතිරාජයන්ට සුවබර නින්දකට සුබ පැතුම්.

කේ.ජී.පිලිප් ශාන්ත